වියට්නාමයේ චීන විරෝධී උද්ඝෝෂණ - කර්මාන්තශාලා ගිනිබත්

'බින් ඩොන්ග්' ප්‍රාන්තයේ මහාමාර්ග වලට කඩාවැදුණු විසිදහසක් පමණවූ වියට්නාම් කම්කරුවන් විසින් චීන ව්‍යාපාරිකයන් සතු දේපොළ වලට ප්‍රහාර එල්ල කරන ලද බව වාර්තා වෙයි.

තම රටට අයත් බවට මේ මස මුලදී වියට්නාමය විසින් ප්‍රකාශයට පත්කරනු ලැබූ මුහුදු කලාපයට චීනය විසින් ඛනිජ තෙල් කැනීම් අට්ටාල ගෙන ඒමට විරෝධය පාමිනුයි ප්‍රහාර එල්ල කෙරුණේ.

මධ්‍යම වියට්නාමයේ වානේ කම්හලකට එල්ල කෙරුණ ප්‍රහාරයක දී එක් චීන කම්කරුවකු මරණයට පත් වූ බවයි අලුත්ම වාර්තා මගින් පැවසෙන්නේ.

චීන කම්කරුවන් නිරත තායිවාන් වානේ කම්හලකට එල්ල කෙරුණ ප්‍රහාරයකින් කම්කරුවන් සීයක් පමණ තුවාල ලැබ ඇති බවක් ද වාර්තා වෙයි.

ප්‍රචණ්ඩ ක්‍රියා වලට සම්බන්ධ දෙසිය දෙනෙකුවත් අත්අඩංගුවට ගත් බවයි, වියට්නාම් නිලධාරීන් ප්‍රකාශ කරන්නේ.

ඉහත කී විරෝධතා ව්‍යාපාර සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශකයෙක් කියාසිටියේ, කුපිතකාරී ක්‍රියාවන්ට වියෙට්නාමය වගකිව යුතු බවයි.

විදේශ ආයෝජන ගිලිහීයාමේ බියක්

ඉහත කී ප්‍රහාර සම්බන්ධයෙන් චීන බලධාරීන් ඔවුන්ගේ නොසතුට වියට්නාමයට දැනුම් දී ඇත. විරෝධතාවාදීන්ගේ ප්‍රචණ්ඩ ක්‍රියා ඉදිරියේ ඒවා නොදුටු ආකාරයට සිටින බවට චීනය වියට්නාමයට චෝදනා කරයි.

වියට්නාම් ප්‍රහාරකයන් තායිවාන් කම්හල්, චීන කම්හල් හැටියට වරදවා හඳුනා ගෙන ප්‍රහාර එල්ල කල බව වාර්තා වීමෙන් අනතුරුව, තායිවාන් රජය වියට්නාම් තානාපතිවරයා සිය විදේශ අමාත්‍යංශයට කැඳවනු ලැබුණි.

සිංගප්පූරු සහ ජපන් කම්හල්ද වියට්නාම් ප්‍රහාරකයන්ට ගොදුරු වී ඇත.

විරෝධතා කරුවන් වියට්නාමයේ කර්මාන්තපුරය වන 'බින් ඩොන්ග්' ප්‍රාන්තයේ 'තුඅන් අන්' නගරයට පසුහිය සඳුදා ඒකරාශී වෙමින් සිටි බවයි නිලධාරින් පවසන්නේ.

වියට්නාම්-සිංගප්පූර් කර්මාන්ත පුර නියෝජනය කරන ප්‍රකාශකයෙක් බීබීසියට කියා සිටියේ,අඟහරුවාදා සවස වැඩ නිමකළ සේවකයන් නිවෙස් බලා ගිය පසු ගිනි තැබීම් සිදුකර ඇති බවයි.