ශ්‍රී ලංකා ක්‍රිකට් 'අසරණ වෙලා'

ශ්‍රී ලංකා ක්‍රිකට් 'අසරණ වෙලා'

එංගලන්ත සංචාරයක් මුව විටේ තිබියදී පෝල් ෆාබ්‍රේස් ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු තනතුරෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්ෂේත්‍රය හදිසියේම අසරණ තත්වයකට පත් කොට ඇති බව සනත් ජයසූරිය පවසයි.

ෆාබ්‍රේස් පුහුණුකරු තනතුරට පත් කිරීම පිණිස ජයසූරිය ප්‍රබල කාර්යභාරයක් ඉටු කළේය
ඡායාරූප ශීර්ෂ වැකිය,

ෆාබ්‍රේස් පුහුණුකරු තනතුරට පත් කිරීම පිණිස ජයසූරිය ප්‍රබල කාර්යභාරයක් ඉටු කළේය

ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්ගේ සැලකීම් පිළිබඳව හටගත් කනස්සල්ල හේතුවෙන් පුහුණුකරු හදිසියේම සමුගත් බවට පළ වන වාර්තාද නියෝජ්‍ය අමාත්‍ය සනත් ජයසූරිය ප්‍රතික්ෂේප කරයි.

එංගලන්ත කණ්ඩායමේ නියෝජ්‍ය පුහුණුකරු තනතුර භාර ගැනීම පිණිස ෆාබ්‍රේස් ශ්‍රී ලංකා පුහුණුකරු තනතුරෙන් ඉවත්ව යන බවයි, ජනමාධ්‍ය වාර්තා කරන්නේ.

එය ඉතා කණගාටුදායක තත්වයක් බව පවසන සනත් ජයසූරිය, කෙසේ නමුත් ඔහුගේ අනාගතයට තමන් සුභ පතන බවද බීබීසී සංදේශයට පැවසීය.

ග්‍රැහැම් ෆෝඩ්ගෙන් අනතුරුව ඔහු පුහුණුකරු තනතුරට පත් කිරීම සඳහා තමා ප්‍රධාන කාර්භාරයක් ඉටු කළ බව පිළිගන්නා තේරීම් කමිටු සභාපතිවරයා, හදිසියේම සමු ගන්නා බවක් ෆාබ්‍රේස් තමන්ට හෝ ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයේ කිසිවකුටත් දැනුම් නොදුන් බවත් පවසයි.

මාවන්ට 'ලොකු වගකීමක්'

1996 දී ශ්‍රී ලංකාව ලෝක කුසලානය දිනාගත් අවස්ථාවේ ක්‍රීඩකයන්ට විශේෂ සැලකිලි ලැබුනත්, තමන් නොසලකා හැරීමකට ලක් වූ බව එවකට පුහුණුකරු වූ ඩී වට්මෝර් පවසා තිබුණි.

සමු ගැනීමට හේතුව 'ශ්‍රී ලංකා බලධාරීන්ගේ නොසලකා හැරීම්?'

ඡායාරූප මූලාශ්‍රය, EMPICS

ඡායාරූප ශීර්ෂ වැකිය,

සමු ගැනීමට හේතුව 'ශ්‍රී ලංකා බලධාරීන්ගේ නොසලකා හැරීම්?'

එහෙත් පෝල් ෆාබ්‍රේස්ට නිසි පිළිගැනීම ලැබුණු බවයි, සනත් ජයසූරිය සංදේශයට කියා සිටියේ.

"සමහර වෙලාවට අපි ගොඩක් වෙලාවට බලනවා ක්‍රිකට් ආයතනයට ඇඟිල්ල දික් කරන්න හැම තිස්සෙම," යනුවෙන් ඔහු කියා සිටියේය.

හදිසියේ යලි පුහුණුකරුවකු පත් කළ නොහැකි බැවින් මාවන් අතපත්තු ඇතුළු පුහුණුකරුවන් පිරිසට මේ මොහොතේ ප්‍රබල වගකීමක් භාර වන බවත් සනත් ජයසූරිය සංදේශයට කියා සිටියේය.

"අවාසනාවකට අපි ටිකක් අසීරු තත්වයකට පත්වෙලා ඉන්නේ. අයර්ලන්ත සංචාරයත්, එංගලන්ත සංචාරයත් අත උද තියෙද්දී තමයි මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්න සිද්ද වුනේ," යනුවෙන්ද ඔහු පැවසීය.

"ඉතින් මේ වෙලාවේ ශ්‍රී ලංකා ක්‍රිකට් අසරණ තත්වයකට පත්වුණු විදියක් තමයි මට පෙන්නේ මේ පුහුණුකරු ගිය එකෙන්."

මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් බදාදා උදය වරුවේ පෝල් ෆාබ්‍රේස් හමුවී ඔහුට සමු දීමට නියමිත බවද වාර්තා වේ.