ජිනීවා යෝජනාව 'දෙමළ ජනතාව වෙනුවෙන් නොවේ'

ජිනීවා යෝජනාව 'දෙමළ ජනතාව වෙනුවෙන් නොවේ'

ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර රටවල් ශ්‍රී ලංකාව පිළිබඳ ජිනීවා යෝජනාව සම්මත කර ගනු ලැබුවේ සිය කලාපීය අවශ්‍යතා වෙනුවෙන් විනා ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව වෙනුවෙන් නොවන බව ගෝලීය දෙමළ සංසදය පවසයි.

කෙසේ නමුත් එම යෝජනාව මගින් දෙමළ ජනතාවට සහනයක් සැලසෙනු ඇති බව රහසක් නොවන බවද ගෝලීය දෙමළ සංසදයේ සභාපති එමානුවෙල් පියතුමා සංදේශයට කියා සිටියේය.

'අපි හොඳටම දන්නවා මුල්ලිවයික්කාල් වෙනකම් ඇමෙරිකාව හිටියේ අපිට විරුද්ධව'

ඡායාරූප මූලාශ්‍රය, Global Tamil Forum

ඡායාරූප ශීර්ෂ වැකිය, 'අපි හොඳටම දන්නවා මුල්ලිවයික්කාල් වෙනකම් ඇමෙරිකාව හිටියේ අපිට විරුද්ධව'

ඔහු ඒ බව සඳහන් කළේ, ගෝලීය දෙමළ සංසදය ඇතුළු සංවිධාන 15 ක් සහ හාරසියයකට අධික විදේශගත දෙමළ ජාතිකයන් පිරිසක් තහනම් ලැයිස්තුවකට ඇතුලත් කරමින් ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් ප්‍රකාශයට පත් කරන ලද ගැසට් නිවේදනය පිළිබඳව සංදේශය සමඟ අදහස් දක්වමින්.

විශේෂයෙන්ම එල්ටීටීඊ ය යලි පණ ගැන්වීමට උත්සාහ දරන බව එමානුවෙල් පියතුමා ඇතුළු එසේ තහනම් කරන ලද පුද්ගලයන්ට සහ සංවිධානවලට එරෙහිව ආණ්ඩුව එල්ල කරන චෝදනාවයි.

එහෙත් එමානුවෙල් පියතුමා එම චෝදනාව ප්‍රතික්ෂේප කරයි.

"නැහැ කිසිසේත්ම නැහැ. මුල ඉඳලම අපි කිවුවේ එක්සත් ලංකාවක් තුල, දෙමළ ජනතාවටත් තමන්ගේ ගෞරවය රැකගෙන ජීවත් වෙන්න පුළුවන් දේශපාලන විසඳුමක් අවශ්‍යයි කියල," යනුවෙන් ඔහු සඳහන් කළේය.

"ඒ වගේම ඔවුන් වෙනම ජාතියක් විදියට පිළිගෙන, ඔවුන්ගේ සංස්කෘතියට ගරු කරමින්, එකිනෙකා සමග සහජීවනයෙන් ජීවත් වෙන ක්‍රමයක්. අපි බෙදුම්වාදීන් නෙවෙයි. බෙදුම්වාදය මතු වුනේ සිංහල රාජ්‍යයේ එක ජාතියකට විතරක් සැලකීමේ ප්‍රතිපත්තියට ප්‍රතික්‍රියාවක් විදියට."

'බෙදුම්වාදයට විරුද්ධයි'

යාපනය එල්ටීටීඊ පාලනය යටතේ පැවති සමයේ දේවගැතිවරයකු වශයෙන් සේවය කරද්දී කොටි සංවිධානය සමඟ සම්බන්ධතා පැවැත්වීමට සිදුවූ නමුත්, එල්ටීටීඊයේ ක්‍රියාවන් අනුමත කළ බවක් එයින් අදහස් නොකෙරෙන බවද ගෝලීය දෙමළ සංසදයේ ප්‍රධානියා ප්‍රකාශ කරයි.

'2009 දී ශ්‍රී ලංකාව දිනුවේ මගේ මිත්‍ර දයාන්ගේ තර්ක නිසා'
ඡායාරූප ශීර්ෂ වැකිය, '2009 දී ශ්‍රී ලංකාව දිනුවේ මගේ මිත්‍ර දයාන්ගේ තර්ක නිසා'

"කිසියම් සංවිධානයක ක්‍රියාකාරකම් විග්‍රහ කිරීම සහ එයට පූර්ණ සහාය දීම කියන්නේ දෙකක්. මම එල්ටීටීඊය විවේචනය කරලා තියෙනව. ඒ වගේම සමහර දේ ගැන මම සමාව ඉල්ලලත් තියෙනව. ඒ කියන්නේ ත්‍රස්තවාදයට සහාය දීම හෝ අනුබල දීම නෙවෙයි. ඒ මොහොතේ එහි තිබුන තත්වය යටතේ ජීවත්වීම විතරයි මම කළේ."

ගෝලීය දෙමළ සංසදය, බ්‍රිතාන්‍ය දෙමළ සංසදය, රටින් පිට ක්‍රියාත්මක වන දෙමළ ආණ්ඩුව සහ කැනේඩියානු දෙමළ කොන්ග්‍රසය ඇතුළු සංවිධාන 15 ක් සහ තමන් ඇතුළු විදේශගත දෙමළ ජාතිකයන් තහනමක් පැනවීම ජිනීවා යෝජනාව සම්මත වීම පිළිබඳව කෝපයට පත් ආණ්ඩුවේ ප්‍රතිචාරය බව එමානුවෙල් පියතුමාගේ අදහසයි.

"ආණ්ඩුව හිතනවා දෙමළ ඩයස්පෝරාව තමයි යෝජනාව පිටිපස්සේ ඉන්නේ කියල. අපි නෙවෙයි මේකේ පිටිපස්සේ ඉන්නේ. අපි හොඳටම දන්නවා මුල්ලිවයික්කාල් වෙනකම් ඇමෙරිකාව හිටියේ අපිට විරුද්ධව," යනුවෙන්ද ඔහු කියා සිටියේය.

'පැරදුනේ දයාන් නිසා'

"අනික අපි හොඳටම දන්නවා, ඇමෙරිකාව ඒ යෝජනාව සම්මත කළේ දෙමළ මිනිස්සුන්ට ආදරේට නෙවෙයි කියල. ඇමෙරිකාව ඒක කළේ තමන්ගේ අවශ්‍යතා වෙනුවෙන්. ඒකෙන් දෙමළ ජනතාවට සහනයක් ලැබුන බව ඇත්ත."

'රුසියාව, චීනය පැත්තට බර වෙනවා දැකල ලංකාව තමන්ගේ කඳවුරේ තියා ගන්න තමයි යෝජනාව ගෙනාවේ'

ඡායාරූප මූලාශ්‍රය, Sunanda Deshapriya

ඡායාරූප ශීර්ෂ වැකිය, 'රුසියාව, චීනය පැත්තට බර වෙනවා දැකල ලංකාව තමන්ගේ කඳවුරේ තියා ගන්න තමයි යෝජනාව ගෙනාවේ'

එසේ නම්, ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනාවක් ඉදිරිපත් කිරීම මගින් ඇමෙරිකාව ආරක්ෂා කිරීමට සැරසෙන අවශ්‍යතා කවරක් දැයි සංදේශය එමානුවෙල් පියතුමා ගෙන් විමසීමක් කළේය.

"ඇමෙරිකාව මේ යෝජනාව ගෙනාවේ ලංකාව තමන්ගේ කඳවුරේ තියා ගන්න. ඒ කියන්නේ ලංකාව රුසියාව, චීනය පැත්තට බර වෙනවා දැකල ලංකාව තමන්ගේ කඳවුරට සමීපව තියා ගන්න තමයි යෝජනාව ගෙනාවේ. එහෙම නැතුව මේක දෙමළ ජනතාව වෙනුවෙන් පමණක් ගෙනාපු යෝජනාවක් නෙවෙයි."

ජිනීවා යෝජනාව සම්මත කර ගැනීම් වස් ගෝලීය දෙමළ සංසදය ප්‍රජාතන්ත්‍රවාදී මාර්ගයෙන් බොහෝ රටවල් සමඟ සාකච්ඡා පැවැත්වූ බව රහසක් නොවන බවද ඔහු සඳහන් කළේය.

2009 දී මානව හිමිකම් මණ්ඩලයට ඉදිරිපත් වූ ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනාව එවක ජිනීවා නුවර සිටි තානාපති දයාන් ජයතිලකගේ තර්ක හේතුවෙන් පරාජය වූ බව සංදේශයට කියා සිටි එමානුවෙල් පියතුමා, සිය අයිතිවාසිකම් සහ මතය වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදීව ක්‍රියාත්මක වීමට තමන්ටද අයිතියක් තිබෙන බව අවධාරණය කරයි.