14 හැවිරිදි දැරිය සමග අඹුසැමි ඇසුර පවත්වලා - සැකකරු අත්අඩංගුවේ

14 හැවිරිදි දැරිය සමග අඹුසැමි ඇසුර පවත්වලා - සැකකරු අත්අඩංගුවේ

April 2, 2014   06:27 am

වයස අවුරුදු 14 ක් වන බාල වයස්කාර දැරියක සමග මාස 07 ක පමණ කාලයක් අඹු - සැමියන් ලෙස ජීවත් වූ 23 හැවිරිදි අයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පුත්තලම පොලීසිය කියයි.

අත්අඩංගුවට ගෙන ඇත්තේ පුත්තලම - කල්අඩිය,මීඔය පාර පදිංචිව සිටි සැකකරුවෙකි.

බාල වයස්කාර දැරියක සමග විවාහ නොවී තරුණයෙකු අඹු - සැමියන් ලෙස ජීවත් වන බවට පොලිස් හදිසි ඇමතුම් අංශයට ලද තොරතුරක් මත සිදු කරන ලද විමර්ශනයකින් පසුව සැකකරුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පසුගිය වසරේ සැප්තැම්බර් මස 09 වැනි දින සිට ඉකුත් 01 වැනිදා දක්වා වූ කාලය තුළ තමා සහ සැකකරු එකම නිවසක ජීවත් වූ බවත්, එම කාලය තුළ සැකකරු හා තමන් අඹු - සැමි සම්බන්ධතා පැවැත්වූ බවත් බාලවයස්කාර දැරිය පොලීසිය හමුවේ පවසා ඇතැයි අද දෙරණ වාර්තාකරු පවසයි.

දැරියගේ සහ සැකකරුගේ මව්පියන්ගේ කැමැත්ත මත මෙම දෙදෙනා අඹු - සැමි අසුරක් පවත්වා ඇති බව අනාවරණය වී ඇතත් දැරිය බාල වයස්කාර තැනැත්තියක බැවින් සැකකරුට එරෙහිව නීතිමය ක්‍රියා මාර්ග ගැනීමට කටයුතු කළ බවත්,ඒ සදහා අනු බල දුන් අය සම්බන්ධයෙන්ද විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බවත් මේ සම්බන්ධයෙන් විමසූ විට පුත්තලම පොලීසියේ නිලධාරියෙක් කියා සිටියේය.

සැකකරු පුත්තලම දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.