ගුවන් යානය සෙවීමට චීන නැව් නවයක්

අනිකුත් රටවල් මගින් සෝදිසියට ලක් නොවූ සුමාත්‍රාව අවට මුහුදු ප්‍රදේශය සෝදිසියට

ඡායාරූප මූලාශ්‍රය, AP

ඡායාරූප ශීර්ෂ වැකිය,

අනිකුත් රටවල් මගින් සෝදිසියට ලක් නොවූ සුමාත්‍රාව අවට මුහුදු ප්‍රදේශය සෝදිසියට

මැලේසියානු ගුවන් යානය අතුරුදහන් වී සුළු වේලාවකට පසු තම රේඩාර් සංඥා මත ගුවන් ගමනක් සටහන් වී ඇති බව තායිලන්තය පවසන බැවින් එම ප්‍රදේශය තුළ නව සෝදිසි මෙහෙයුම් කිරීම සඳහා චීනය විසින් නාවික යාත්‍රා යොදා ගනු ලැබ තිබේ.

බෙංගාල බොක්ක සහ ඉන්දුනීසියාවෙන් බටහිරට වූ ප්‍රදේශයේ තුළ නව සෝදිසි මෙහෙයුම් සඳහා චීනය නැව් නවයක් පිටත් කර හැර ඇත.

මාර්තු මස 8 වෙනිදා මගීන් 239 සමග අතුරුදහන් වූ MH370 ගුවන් යානය සෙවීම සඳහා මේ වන විට රටවල් විසි හයකට අයත් කණ්ඩායම් සෝදිසි මෙහෙයුම් කරමින් සිටිති.

සුමාත්‍රාව අවට මෙහෙයුම්

මෙලෙස සෝදිසියට ලක් වන මුළු ප්‍රදේශය ප්‍රමාණයෙන් දළ වශයෙන් ඕස්ට්‍රේලියාවේ විශාලත්වයට සමාන වන බවයි පැවසෙන්නේ.

මැලේසියාව පවසන්නේ ක්වාලාලම්පූර් සිට බෙයිජිං බලා පියාසර කල යානයේ ගමන් මග උවමනාවෙන්ම වෙනස්කොට අවසන් වරට පියාසර කරමින් තිබුණේ යැයි සැලකෙන මලක්කා ප්‍රදේශයේ සිට උතුරු හෝ දකුණු දෙසට ගමන් කරවා ඇති බවයි.

මේ අතර, ගුවන් යානයේ කාර්යමණ්ඩලය හෝ යානයේ ගමන්ගත් අයෙක් මේ අතුරුදහන් වීමට සම්බන්ධ වීමට ඇති හැකියාව පිළිබඳව පරීක්ෂකයන් ගේ අවධානය යොමු වී තිබේ.

කි. මී. 300,000 ක ප්‍රදේශයක් ආවරණය වන ලෙස සෝදිසි මෙහෙයුම් කිරීම පිණිස බදාදා උදෑසන චීන නව්කාවක් පිටත් කළ බවයි ෂින්හුවා රාජ්‍ය ප්‍රවෘත්ති ආයතනය පවසන්නේ.

අනිකුත් රටවල් මගින් සෝදිසියට ලක් නොවූ සුමාත්‍රාව අවට මුහුදු ප්‍රදේශය මෙම නව්කාව මගින් සෝදිසියට ලක්වන බවයි වැඩි දුරටත් වාර්තාවන්නේ.