කැස්බෑ බිත්තර 78 ක් සමග හාරන්නෙක් දැලේ

කැස්බෑ බිත්තර 78 ක් සමග හාරන්නෙක් දැලේ

March 10, 2014   10:36 am

හම්බන්තොට, ඉඳිවින්න මුහුදු තීරයේ මෙරට දැඩි ආරක්ෂිත සත්ත්වයකු වන කැස්බෑවන්ගේ බිත්තර හාරමින් සිටි පුද්ගලයෙකු කැස්බෑ බිත්තර 78 ක් සමග හම්බන්තොට වනජීවී කාර්යාලයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ හම්බන්තොට ඉඳිවින්න ප‍්‍රදේශයේ පදිංචි වයස අවු. 54 ක පුද්ගලයෙකි. සැකකරු හම්බන්තොට මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 27 වෙනිදා දක්වා රිමාන්ඞ් භාරයේ තබන ලෙසත්, කැස්බෑ බිත්තර බූන්දල, උරණිය කැස්බෑ සුරැකුම් මධ්‍යස්ථානය වෙත භාරදෙන ලෙසටත් නියෝග කොට ඇත.

හම්බන්තොට දිස්ත‍්‍රික්කය තුළ මසක් තුළදී කැස්බෑ බිත්තර හාරමින් සිටි පුද්ගලයින් අත්අඩංගුවට ගත් 3 වන අවස්ථාව මෙය වන බවත් කැස්බෑවුන් බිත්තර දමන මෙම කාලය තුළදී පුද්ගලයින් බහුල වශයෙන් මුදල් සෙවීම සඳහා මෙවැනි ආරක්ෂිත සතුන්ගේ බිත්තර ගැනීම සිදු කරන බවත් වනජීවී නිලධාරීහු පවසති.

තවද මෙවැනි සතුන්ගේ බිත්තර ආරක්ෂා කිරීම වනජීවී නිලධාරීන්ගේ කාර්යයක් බවත්, දිගින් දිගටම මෙවැනි අපරාධ සිදු කරන පුද්ගලයින්ට උපරිම දඬුවම් ලබා දීමට කටයුතු කරන බවත් ඔවුහු පවසති.

හම්බන්තොට වන අඩවි ආරක්ෂක ඩබ්.එම්.ඒ. ගුණතුංග මහතාගේ උපදෙස් මත වන සත්ව නියාමක එල්.ටී. ධම්මික, එස්. සිරිවර්ධන යන නිලධාරීන් මෙම වැටලීම සිදු කර ඇත.