පොලීසියට එරෙහිව ගොවි මහතෙකු බිරිඳ හා දරුවන් සමග විරෝධයේ

පොලීසියට එරෙහිව ගොවි මහතෙකු බිරිඳ හා දරුවන් සමග විරෝධයේ

January 21, 2014   11:38 am

අනුරාධපුරයේ ගොවි මහතෙකු ස්වකීය දරුවන් සිව්දෙනා සහ බිරිඳ සමග කොළඹ, පොලිස් මූලස්ථානය ඉදිරිපිට විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කර තිබේ.

“ෆාම් හවුස්“ නමින් තමන් පවත්වාගෙන ගිය ගොවිපළකට එරෙහිව කාන්තාවක හා අනුරාධපුර පොලීසිය විසින් තමාට දිගින් දිගටම අකටයුතුකම් කරන බැවින් මෙලෙස විරෝධය දක්වන බව හෙතෙම කියා සිටියි.

මේවන විට තමාට එරෙහිව සංවිධානාත්මක ලෙස පොලීසියට පැමිණිලි 79 ක් යොමු කර ඇති බවත්, අදාළ කාන්තාව දිනකට පැමිණිලි 1 බැගින් දින 5 ට පැමිණිලි 5ක් යොමුකළ අවස්ථා තිබුණු බවත් ඔහු පෙන්වාදෙයි.

එහෙත් තමාට එරෙහිව අභූත චෝදනා නඟා මෙලෙස සංවිධානාත්මකව තමන් දෑතේ මහන්සියෙන් නැඟී සිටිනු නොරිසි කිහිප දෙනෙකු හා පොලීසිය එක්ව කරනු ලබන අකටයුතුකම් වලට එරෙහිව පොලිස්පතිවරයාගෙන් සාධාරණයක් බලාපොරොත්තුවන බව ගොවි මහතා අද දෙරණට කියා සිටියේය.

තම බාල දරුවාට වයස අවුරුදු තුන හමාරක් බවත්, වැඩිමහල් දරුවාට වයස අවුරුදු 13 ක් බවත් පෙන්වා දෙන ඔහු පිරිමි ළමුන් තිදෙනෙකු හා ගැහැණු දරුවෙකු සමග තම පවුල පාරට වැටීමට නියමිත බැවින් තමන්ට සාධාරණයක් ඉටුකරන ලෙස විජේරත්න නමැති ඔහු පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටියි.