නවී පිල්ලේගේ බලය සීමිතයි - ශ්‍රී ලංකා රජය

නවී පිල්ලේගේ බලය සීමිතයි - ශ්‍රී ලංකා රජය

මානව හිමිකම් උල්ලංඝන චෝදනා සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පැවැත්වීම සඳහා දින නියම කිරීමට හෝ ඒ සඳහා මැදිහත්වීම ජාත්‍යන්තර ප්‍රජාවේ වගකීම බව ප්‍රකාශ කරමින් අනතුරු ඇඟවීම් සිදු කිරීමට මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන් ගේ මහ කොමසාරිස්වරියට නිල බලයක් නොමැති බව ශ්‍රී ලංකා රජය ප්‍රකාශ කරයි.

මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන් ගේ මහ කොමසාරිස් නවනීදන් පිල්ලේ විසින් සකස් කෙරුණු ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාවක් එක්සත් ජාතීන් ගේ මානව හිමිකම් පිළිබඳ 24 වැනි සැසි වාරයේ දී නියෝජ්‍ය මහ කොමසාරිස් ෆ්ලාවියා පන්සියෙරි විසින් ඉදිරිපත් කිරීමෙන් පසු එයට ප්‍රතිචාර දැක්වූ ශ්‍රී ලංකා නියෝජිත පිරිසේ නායක, ශ්‍රී ලංකා රජයේ ජිනීවාහි නිත්‍ය නියෝජිත රවිනාථ ආර්යසිංහ තවදුරටත් කියා සිටියේ ශ්‍රී ලංකා රජය එකී වාර්තාව මුළුමනින් ප්‍රතික්ෂේප කරන බවයි.

පසුගිය මාර්තු මස පැවැත්වුණු විසි දෙවැනි සැසි වාරයේ දී ශ්‍රී ලංකා රජය විසින් ප්‍රතික්ෂේප කරන ලද ශ්‍රී ලංකාවට එරෙහි පක්‍ෂග්‍රාහී යෝජනාවක් පවත්නා තත්වය පිළිබඳ අපක්‍ෂපාතී ගවේෂණයකින් තොර ව, නව වාර්තාවට පදනම් වී ඇති බවත් රවිනාථ ආර්යසිංහ ප්‍රකාශ කරයි.

ප්‍රථම වරට උතුරු පළාතේ පැවති පළාත් සභා මැතිවරණය නිදහස් සහ සාධාරණ අන්දමින් පැවැත්වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ජයග්‍රහණයක් බව ප්‍රකාශ කල තානාපති වරයා, එලෙස ක්‍රියා කල රජයකින්, පළාත් සභාවේ පරිපාලනය සමග සහයෝගයෙන් වැඩ කල යුතු බවට ඉල්ලා සිටීම මිථ්‍යාවක් මත පදනම් වූ ප්‍රකාශයක් බව ද කියා සිටියේය.

එල්.ටී.ටී.සැකකරුවන්

මහ කොමසාරිස්වරියගේ ශ්‍රී ලංකා සංචාරයෙදී රවිනාථ ආර්යසිංහ සමග
ඡායාරූප ශීර්ෂ වැකිය, මහ කොමසාරිස්වරියගේ ශ්‍රී ලංකා සංචාරයෙදී රවිනාථ ආර්යසිංහ සමග

අතුරුදහන් වූ බවට සැක කෙරෙන පුද්ගලයන් පිළිබඳ සොයා බැලීම සඳහා නිසි පරීක්ෂණ අරඹා ඇති අතර, යුද්ධය අවසානයේ රජයේ ආරක්ෂක අංශ භාරයට පත් වූ එල්. ටී. ටී. ඊ සටන් කරුවන් දොළොස් දහස් දෙසිය විස්සක් අතරින් දෙසිය විසි පස් දෙනෙකු පුනරුත්ථා පනය කෙරෙමින් ඇති අතර තවත් අනූ එක් දෙනෙක් නීතිමය කටයුතු සඳහා යොමු කර ඇති බවත් සෙසු සියලු දෙනා නිදහස් කර තිබෙන බවත් ඔහු කියා සිටියි.අත් අඩංගුවට ගැනුණු 4869 අතරින් ඉතිරි ව ඇත්තේ 109 දෙනෙකු පමණක් බවයි තානාපතිවරයා ප්‍රකාශ කරන්නේ.

උතුරේ කාන්තාවන්

මහ කොමසාරිස් නවනීදන් පිල්ලේගේ ශ්‍රී ලංකා සංචාරයේ දී කැමති ඕනෑම ස්ථානයකට යාමට සහ ඕනෑම පුද්ගලයකු හමුවීම සඳහා සියලු පහසුකම් සහ නිදහස ලැබුණු බව ඇය පැවසුවත්, එලෙස රැස් කර ගත් තොරතුරු වලින් අපක්‍ෂපාතී වාර්තාවක් ඉදිරිපත් කිරීමට ඇය අසමත් වී ඇති බවත් ශ්‍රී ලංකා නියෝජිත රවිනාථ ආර්යසිංහ කියා සිටියි.

උතුරේ කාන්තාවන් ආරක්ෂක හමුදා මගින් නිරන්තර අතවරයට ලක් වන බවට එල්ල කෙරෙන චෝදනා වලට ප්‍රතිචාර දැක්වූ තානාපතිවරයා කියා සිටියේ පසුගිය වකවානුවේ උතුරේ සිදු වූ එවැනි සිද්ධීන් 375ක් අතරින් ආරක්ෂක අංශ වෙත ඍජුව චෝදනා එල්ල වූ අවස්ථා 17 කදී ඒ පිළිබඳ නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බවයි. උතුරේ ගැහැණු දරුවන් සහ ස්ත්‍රීන් ආරක්ෂක හමුදා අතවරයට නිරන්තරයෙන් ලක් වන බවට එල්ල වන චෝදනා පදනම් විරහිත අසත්‍යයක් බව ද ඔහු කියා සිටියේය.

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්වය සම්බන්ධයෙන් පමණ ඉක්මවා සිදු කර ඇති නිගමන කිසිසේත්ම පිළිගත නො හැකි බව ප්‍රකාශ කළ ශ්‍රී ලංකා නියෝජිත රවිනාථ ආර්යසිංහ, එමගින් සිදු කෙරෙන්නේ පිබිදෙමින් ඇති සාමය සහ සංහිඳියාවට බාධා සිදු කිරීමක් පමණක් බවත් ප්‍රකාශ කරයි.