ආදරය මෙලොව ඇති සුන්දරම දෙය යැයි හදුන්වනවාට ඔබ මා හා විරුද්ධ නොවනු ඇත. එහි සුන්දරත්වය මෙන්ම කටුක බවද ඔබ හොදින්ම හදුනනු ඇත. කොතරම් කටුක අත්දැකිම් තිබුණද අප සැම විටම සොයාන්නේ ආදරයයි. ඒ එහි ඇති කටුක බවට වඩා එහි සුන්දරත්වයට අප ආදරය කරන නිසාය. ආදරය නොමැතිව අපට ජිවත්විය නොහැකි තරම්ය, ජිවත් වුව ද ඒ මළ මිනි ලෙසය. කොතරම් බලවතෙකු වුවද ආදරයේ අහිමිවීම දරා ගත නොහැකි වනු ඇත. ජිවත්වු ද මළ මිනි ලෙස ජිවත්වන බොහෝ පිරිසක් අද ලංකාව තුළ සිටිති. ඒ අතුරුදහන්වුවන්ගේ ඥාතීන්ය. ඔවුන්ට ඇත්තේ බලාපොරොත්තුවක් පමණි. ඔවුන් බලා සිටින්නේ තමන්ගෙන් වෙන් කරනු ලැබුවා වු ඔවුන්ගේ ආදරණියයා කෙදිනක හෝ ඔවුන් සොයා එනු ඇතැයි යන අදහසිනි. ඔවුන්ට සිදුවුයේ තුමක්ද යන්න අදහසිනි. ඔවුන් තම ජිවිතයම කැප කරන්නේ තමන් වෙතින් උදුරගත්තාවු තමන්ගේ ආදරය සොයා ගැනීම වෙනුවෙන්ය. ඔවුන් පාරක් පාරක් ගානේ සොයන්නේ තමන්ට අහිමිවු ආදරයයි. ඒ ඔබට මෙන්ම ඔවුන්ට ද ආදරය අහිමිවීම දරාගත නොහැක නිසාය. යමෙක් මිය ගියහොත් ඔවුන් යලි තමන් වෙත නොඑන බව සමීපතමයේ දනිති. කදුලූ වලින් ඔවුන් තමන්ගේ දුක තුනී කර ගනිති. ඒත් ඔබේ ආදරණියම සමීපතමයෙකු අතුරුදහන්වුවොත් ඔබ ජිවත් වන්නේ සාදාකාළිකව දෙගිඩියාවකිනි.

ඔබට දැනෙන ඒ වේදනාව ජාති, කුළ, ආගමි බෙදයකින් තොරව අනෙකාට ද දැනෙන බව ඔබ මොහොතකටවත් ඔබ සිතුවාද? ඒ හැගීම මොන තරම් කටුකද අමිහිරිද යන්න ඔබට දැනෙනවාද? ගෙදර හුරතලේට හදන බල්ලා නැති වුනොත් ඔබට දැනෙන හැගීම? ඔබේම රටේ ඔබ වගේම ලේ මස් නහර වලින් හැදුන මිනිසුන්ගේ දුක ඔබට දැනෙනවාදා? ඔබ ඒ වෙනුවෙන් දුකවෙනවාද? අදටත් සිදුවන අතුරුදහන් කිරිමට එරෙහි වන්න, මන්ද යත් එය මරණයටත් වඩා දරුණුවුවකි. ඔබ ආදරය හදුනනවානම් අනෙකාගේ ආදරය උදුරා ගැනීමට එරෙහිවන්න. එවිට ඔබට ඔබගේ ආදරය රැක ගත හැක.

[අදට(අගෝස්තු 30 දිනට) යෙදී ඇති අතුරුදහන්වූවන් පිළිබද ජාත්‍යන්තර දිනය වෙනුවෙනි]

රොෂාන් චතුරංග | Roshan Chathuranga