ගාල්ලේ ක්‍රීඩාංගණය රග්බි ක්‍රීඩාවට ලැබුනේ 'ජනපති පුතා නිසා'

Namal Rajapaksa, MP, with Charles Haviland
ඡායාරූප ශීර්ෂ වැකිය, 'ශ්‍රී ලංකාව වැනි රටක් විවිධ ක්‍රීඩා වෙනුවෙන් සියලුම ක්‍රීඩාංගන යොදා ගත යුතුයි'

ගාල්ලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය රග්බි ඇතුළු වෙනත් ක්‍රීඩාවන් වෙනුවෙන් ද යොදා ගැනීමේ කිසිදු වරදක් නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.

මන්ත්‍රීවරයා ඒ බව සඳහන් කරන්නේ කාල්ටන් සුපර් සෙවන් රග්බි ශූරතාවලිය ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වීම හේතුවෙන් එහි තණතිල්ල විනාශ වන බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් කොළඹ සිටින බීබීසී වාර්තාකරු අසාම් අමීන් ට්විටර් සමාජ ජාලය මාර්ගයෙන් ඔහුගෙන් විමසීමක් කළ අවස්ථාවේ දී.

"ශ්‍රී ලංකාව වැනි රටක් විවිධ ක්‍රීඩා වෙනුවෙන් සියලුම ක්‍රීඩාංගණ යොදා ගත යුතු," බවයි, මන්ත්‍රීවරයා සිය ට්විටර් ප්‍රතිචාරයේ සඳහන් කරන්නේ.

'පුතාලගේ මනදොල සැපිරීම'

කාල්ටන් සුපර් සෙවන් රග්බි ශූරතාවලිය සංවිධානය කරනු ලැබුවේ, නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වන තාරුණ්‍යයට හෙටක් සංවිධානය විසින්.

Vijitha Herath, MP
ඡායාරූප ශීර්ෂ වැකිය, පුතාලගේ මන දොල සැපිරීම සඳහා පවත්වන මෙවැනි තරඟාවලිවලින් විශාල අසාධාරණයක් වෙනවා

එහෙත් අනෙක් ක්‍රීඩාවන් සඳහා විවෘත නොවන ගාල්ලේ ක්‍රීඩාංගණය ජනාධිපති පුත්‍රයා විසින් සංවිධානය කරන රග්බි තරඟාවලිය සඳහා පමණක් ලබා දීම 'බලවත් අසාධාරණයක්' බවයි, ඒ පිළිබඳව ප්‍රතිචාරය පළ කරන ජනතා විමුක්ති පෙරමුණ පවසන්නේ.

කාල්ටන් සුපර් සෙවන්ස් තරගාවලිය හේතුවෙන් ක්‍රීඩාංගණයට සිදුවන හානිය යථා තත්වයට පත් කිරීමට වැය වන්නේ මහජන මුදල් බව ද ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් බීබීසී සංදේශයට පැවසීය.

"තමන්ගේ පුතාලගේ මන දොල සැපිරීම සඳහා පවත්වන මෙවැනි තරඟාවලි වලින් ක්‍රිකට් ක්‍රීඩා ක්ෂේත්‍රයට විශාල අසාධාරණයක් වෙනවා විතරක් නෙවෙයි, රටේ විශාල ධනයක් මේ සඳහා වැය කරන්න වෙනවා," යනුවෙන් ද ඔහු පැවසීය.

ඕස්ට්‍රේලියාව වැනි රටවල එකම ක්‍රීඩාංගණයේ ක්‍රිකට් සහ රග්බි තරඟ පැවැත්වෙන නමුත් ඒ සඳහා විශේෂ විධි විධාන සකස් කොට තිබේ.

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි සහ මෙල්බර්න් ක්‍රීඩාංගණවල ක්‍රිකට් තරඟ පැවැත්වෙන විට ඒ සඳහා විශේෂයෙන් සකස් කරන ලද තණතිලි ගෙනැවිත් අතුරන අතර, වෙනත් ක්‍රීඩා වෙනුවෙන් ක්‍රීඩාංගණය විවෘත කිරීම පිණිස ක්‍රිකට් තරඟය අවසන් වූ විට එම තණතිලි ඉවත් කෙරේ.

ඕස්ට්‍රේලියාවේ උදාහරණය

එහෙත් ශ්‍රී ලංකාවේ එවැනි තාක්ෂණයක් ක්‍රියාත්මක නොවේ.

සුනාමියෙන් විනාශවූ ගාල්ලේ ක්‍රීඩාංගණය යලි ප්‍රතිසංස්කරණය සඳහා අති විශාල මුදලක් වැය වූ අතර, එයට අරමුදල් රැස් කිරීම පිණිස ඉයන් බොතම් සහ ෂේන් වෝන් වැනි ලොව සුපතල ක්‍රීඩකයෝ ද දායක වූහ.

ප්‍රතිසංස්කරණයෙන් අනතුරුව ක්‍රීඩාංගණය ක්‍රිකට් ක්‍රීඩාව සඳහා පමණක්‌ වෙන් කෙරුණු අතර, එහි ප්‍රතිඵලයක් ලෙසින් සිය ක්‍රීඩා පුහුණුවීම් වලදී දැඩි දුෂ්කර වාතාවරණයකට මුහුණ දීමට පළාතේ පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සිදු විය.

සියලු ක්‍රීඩාංගණ, සියලු ක්‍රීඩා සඳහා විවෘත විය යුතු නම්, වෙනත් ක්‍රීඩා සඳහා ද ගාල්ල ක්‍රීඩාංගණය විචෘත වන්නේ දැයි අසාම් අමීන් මතු කළ ප්‍රශ්නයට නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ප්‍රතිචාරයක් පළ කොට නොතිබිණ.