පුද්ගලික අංශයේ වැඩ නවතා ඇති ආයතනවල සේවකයින්ගේ රැකියා අහිමි නොකිරීමට පියවර. මූලික වැටුපෙන් 50%ක් හෝ රු. 14,500ක්

    October, 27, 2020

    කොවිඩ් -19 වසංගතය හේතුවෙන් ඇති වී තිබෙන අර්බුදය හමුවේ පුද්ගලික අංශයේ සේවකයින්ට වැටුප් ගෙවීම සම්බන්ධයෙන් එකඟ වූ සහන කාලසීමාව දීර්ඝ කිරීම

    කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් ඇති වී තිබූ අර්බුදය හමුවේ පුද්ගලික අංශයේ සේවකයින්ට වැටුප් ගෙවීම සම්බන්ධයෙන් සේවා යෝජකයන්, සේවක වෘත්තීය සමිති, ජාතික කම්කරු උපදේශක සභාව, කම්කරු අමාත්‍යාංශය සහ කම්කරු දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් කාර්යසාධක බලකායක් පත් කර ඇත. එම බලකාය විසින් 2020 මැයි මස සිට සැප්තැම්බර් මස දක්වා කාලය තුළ පහත සඳහන් පරිදි කටයුතු කිරීමට එකඟ වී ඒ අනුව පියවර ගනු ලැබ ඇත.

    * කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් වැඩ නවත්වන ලද ආයතනයන්හි සේවකයින්ගේ රැකියා අහිමි නොකර තබා ගැනීම.

    * සමාජ දුරස්ථභාවය ආරක්ෂා කිරීමට සිදු වීම හේතුවෙන් ආයතනවල සියලුම සේවකයින් සේවයේ යෙදවීමට නොහැකි වන ආයතනවල සේවකයින් වැඩමුර ක්‍රමයක් යටතේ හෝ වෙනත් සුදුසු ක්‍රමවේදයක් යටතේ සමානුපාතිකව සේවය කිරීමට හැකි වන අයුරින් සේවයේ යෙදවීම.

    * වැඩ නොමැතිකම නිසා සේවකයන් නිවෙස් තුළ රැඳවීමේ අවශ්‍යතාවක් පැවති ආයතනවල සේවකයින්ට ඔවුන් අවසානයට ලද සම්පූර්ණ වැටුප ගෙවන ලද මාසයට අදාළ මූලික වැටුපෙන් 50%ක් හෝ රුපියල් 14,500/-ක මුදල යන දෙකෙන් වඩා වාසිදායක මුදල ගෙවීම.

    * එලෙස ගෙවන වැටුප් සඳහා සේවායෝජක විසින් සේවක අර්ථසාධක අරමුදලට සහ සේවක භාරකාර අරමුදලට දායක මුදල් ගෙවීම.

    මේ වන විට කොවිඩ් - 19 වසංගත තත්ත්වය තවදුරටත් රටතුළ ව්‍යාප්ත වෙමින් පවතින බැවින් මෙම වර්ෂයේ දෙසැම්බර් මාසය දක්වාම ඉහතින් සඳහන් පරිදිම කටයුතු කිරීමට එම කාර්යසාධක බලකාය එකඟ වී ඇති බවට කම්කරු අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද කරුණු අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගන්නා ලදී.