අමාත්‍යාංශ ව්‍යුහය ගැසට් කෙරේ..

අමාත්‍යාංශ 28 කින් සමන්විත අමාත්‍යාංශ ව්‍යුහය ගැසට් කෙරේ..

by Staff writer 10-08-2020 | 4:53 PM

COLOMBO (News 1st) -  අමාත්‍යාංශ 28 කින් සහ රාජ්‍ය අමාත්‍යාංශ 40 කින් සමන්විත අමාත්‍යාංශ ව්‍යුහය අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කර තිබේ.

අමාත්‍යාංශ සංයුතිය, විෂය පථය, අදාළ ආයතන සහ බලපවත්නා නීති හා අණ පනත් එම ගැසට් නිවේදනයේ සඳහන් ය. අදාළ අමාත්‍යාංශ 28 වන්නේ, ආරක්ෂක, මුදල් , බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු, නාගරික සංවර්ධන හා නිවාස, අධිකරණ, විදේශ, රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන, අධ්‍යාපන, සෞඛ්‍ය, කම්කරු, පරිසර, වනජීවි හා වන සංරක්ෂණ, කෘෂිකර්ම, වාරිමාර්ග, ඉඩම්, ධීවර, වැවිලි, ජල සම්පාදන, විදුලිබල බලශක්ති, වරාය හා නාවික, මහාමාර්ග, ප්‍රවාහන, තරුණ හා ක්‍රීඩා, සංචාරක, වෙළෙඳ, කර්මාන්ත හා ජනමාධ්‍ය. මීට අමතරව රාජ්‍ය අමාත්‍යාංශ 40 ද අදාළ ගැසට් නිවේදනයෙන් ප්‍රකාශයට පත්කර තිබේ. මේ අතර අද පස්වරුවේ ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ, ජනාධිපතිතුමා හා අග්‍රාමාත්‍යවරයා හොඹවන අමාත්‍යාංශ ද අදාළ අමාත්‍යාංශ 28 ට අයත් බවයි. අමාත්‍යාංශ සකස් කිරීමේ දී ජාතික ප්‍රමුඛතා, ප්‍රතිපත්තිමය වගකීම් සහ කාර්ය භාරය සැලකිල්ලට ගෙන තිබෙන බව ද එම නිවේදනයේ සඳහන් ය. ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ, එක් එක් අමාත්‍යාංශයට අයත් පුළුල් කාර්ය භාරය අනුව සුවිශේෂ ප්‍රමුඛතා සපුරා ගැනීම සහ අදාළ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම පහසු වන පරිදි රාජ්‍ය අමාත්‍යාංශ සකස් කර ඇති බවයි. අමාත්‍යාංශ භාර අමාත්‍යවරු සහ රාජ්‍ය අමාත්‍යවරු අගෝස්තු 12 වැනි දා (බදාදා) පෙරවරුවේ මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රයේ මඟුල් මඩුවේ දී ජනාධිපතිතුමා ඉදිරියේ දිවුරුම් දීමට නියමිතය.

ගැසට් නිවේදනය