දිවයිනේ නිරිතදිග කොටසේ වැසි තත්ත්වයේ වැඩිවීමක්

දිවයිනේ නිරිතදිග කොටසේ වැසි තත්ත්වයේ වැඩිවීමක්

by Staff writer 28-05-2020 | 10:17 PM
COLOMBO (News 1st) : නිරිතදිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපනය වෙමින් ඇතැයි, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් තවදුරටත් අපේක්ෂා කළ හැකි බවයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. මේ අතර, පවතින වැසි තත්ත්වය සමඟ ප්‍රදේශ කිහිපයක මාර්ග සහ පහත්බිම් ජලයෙන් යටවී තිබේ. ඊයේ ජලයෙන් යටවු බුලත්සිංහල - මෝල්කාව ප්‍රධාන මාර්ගයේ දඹල සහ ඇටඹගස් හන්දියේ ජල මට්ටම අද උදෑසන වනවිට පහළ ‍ගොස් තිබේ. කුකුලේගග ජලාශයේ වාන් දොරටු දෙකක් වි‍වෘතකිරීම හේතුවෙන් පහත්බිම් ජලයෙන් යටවිය. නිල්වලා ගගේ අද පස්වරු 3 පමණ වනවිට පානදුගම ජල මාපකයේ ජල මට්ටම මීටර් 5 දශම 0 ක් දක්වා පහළ බැස තිබේ.