කොමර්ෂල් බැංකුවේ Flash ඩිජිටල් බැංකු ගිණුම ලංකා QR ගෙවීම් සමග වැඩිදියුණු කරයි

    May, 13, 2020

    කොමර්ෂල් බැංකුව විසින් පසුගිය වසරේදී හඳුන්වා දුන් ශ‍්‍රී ලංකාවේ පළමු අංග සම්පූර්ණ ඩිජිටල් බැංකු ගිණුම වන ‘Flash’  හි ඩිජිටල් බැංකුකරණ ඇප් පහසුකම වැඩිදියුණු කර තිබෙන බව බැංකුව විසින් නිවේදනය කර තිබේ.

    මේ අවස්ථාවේ අතිශයින්ම කාලීන වැඩිදියුණු කිරීමක් වන මෙමගින් QR හෙවත් Quick Response ගෙවීම් සඳහා අවස්ථාව ලබාදී ඇත. මේ තුළින් ‘Flash’ ගිණුම් හිමියන්ට  ඕනෑම වෙළෙඳ සැලක ලංකා QR කේතය ස්කෑන් කිරීම මගින් මිලදීගන්නා භාණ්ඩ සහ සේවා සඳහා සෘජුවම තම ගිණුම මගින් මුදල් ගෙවීමේ අවස්ථාව ලබාදී ඇත.

    ලංකා ක්ලියර් (ප‍්‍රයිවට්) ලිමිටඞ් විසින් මෙහෙයවන ලංකා QR කේතය ජංගම දුරකතන මගින් දේශීය මුදල් වලින් කරන ගෙවීම් සඳහා ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් හඳුන්වා දී තිබෙන ජාතික ප‍්‍රමිතිය වේ.

    මෙම QR ගෙවීම් විකල්පය නොමිලේ ලබාදෙන අතර කොමර්ෂල් බැංකුවේ ඕනෑම ගිණුමකින් සහ වෙනත් බැංකුවල ගිණුම් වලින් මෙහිදී ගෙවීම් කටයුතු කළ හැකිය.

    මේ වසරේ මාර්තු මාසයේදී කොමර්ෂල් බැංකුව විසින් නැවත දැනුම් දෙනතුරු ‘Flash’ ඩිජිටල් ගිණුමේ 100% ක්ම ස්වයං ලෙස ලියාපදිංචි වීම සඳහා අවස්ථාව ලබාදුන් නිසා මෙම ගිණුම ආරම්භ කිරීමට මේ වනවිට බැංකු ශාඛාවකට යාමට අවශ්‍ය නොවේ.

    ලෝකයේ හොඳම බැංකු 1000 අතරට නම් වූ ප‍්‍රථම දේශීය බැංකුව සහ පිට පිටම නව වතාවක් එසේ නම් වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව වන කොමර්ෂල් බැංකුව 2020 වසරේදී සියවස සමරයි. කොමර්ෂල් බැංකුව මෙරට බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර 865 ක් පවත්වාගෙන යයි. බැංකුව 2019 වසරේදී ජාත්‍යන්තර සහ දේශීය සම්මාන 50 කට වැඩි ප‍්‍රමාණයක් දිනා ගැනීමට සමත්ව තිබේ.

    බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ යැන්ගොන්හි, නියෝජිත කාර්යාලයක් සහ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව කොමර්ෂල් බැංකුව වේ.