Friday, March 29, 2024

General line - 0115112241

විෂබීජ හරණ කුටි භාවිතය පිළිබඳව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයාට ලංකා වෛද්‍ය සංගමයෙන් ලිපියක්




විෂබීජ හරණය කුටි භාවිතය හෝ මොනයම් ආකාරයකින් මිනිසුන් මතට හෝ අවට පරිසරය මතට විෂබීජ නාශක දියර ඉසීම කිසි විටෙකත් අනුමත කළ නොහැකි බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසනවා.

සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා වෙත ලිපියක් යොමු කරමින් ඔවුන් ඒ බව සඳහන් කර සිටිනවා.

" පුද්ගලික ස්වස්ථතාවය පිළිබඳව බොහෝ හොඳ දේවල් සමාජ ගත කෙරුණු මේ අවස්ථාවේදී, සීමාව ඉක්මවා කිරිමට ගොස් මිනිසාටත්, පරිසරයටත් හානිදායක දේවල් සිදු නොකිරීමට අප විසින් වගබලා ගත යුතුය.

අධික ලෙස මුළුමහත් පරිසරයම විෂබීජහරණය කිරීමක් මෙහිදී අවශ්‍ය නොවන අතර රසායනික ද්‍රව්‍ය විශාල ප්‍රමාණයන්ගෙන් ස්වභාවික පරිසරයට නිකුත් කිරීම මගින් රෝග නිවාරණයට ලැබෙන රුකුල ට වඩා පරිසරයටත්, මිනිසාටත්, අවට ජීවත්වන සතුන්ටත් වන හානිය අතිමහත්.

විෂබීජ හරණය කුටි භාවිතය හෝ මොනයම් ආකාරයකින් මිනිසුන් මතට හෝ අවට පරිසරය මතට විෂබීජ නාශක දියර ඉසීම කිසි විටෙකත් අනුමත කළ නොහැක. එමඟින් ශරීරය තුළ පවතින විසබීජ ඉවත් වීමක් හෝ රෝග සුව වීමක් සිදු නොවන අතර, මෙමගින් පුද්ගලයෙකුගේ පෙනහළු වලට හානි සිදුවිය හැකි බවත්, එමගින් රෝගය උත්සන්න වීම සිදු විය හැකි.

ක්ෂද්‍ර ජීව විද්‍යාවේදීන්ගේ සංගමය සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ පාරිසරික සහ වෘත්තීය සෞඛ්‍ය සහ ආහාර සුරක්ෂිතතා අංශය විසින් නිකුත් කරන ලද නිවේදනයට අනුව, මෙම රෝගය පැතිරීම වැළැක්වීමට කළ යුත්තේ පුද්ගලයින් බහුලව පරිහරණය කරන පෘෂ්ඨයන් සහ මතුපිටවල් විසබීජහරණය කිරීමයි. විශාල වශයෙන් රසායනික ද්‍රව්‍ය ඉසීමෙන් පමණක් මෙය නියමාකාරව සිදු නොවන අතර මේ සඳහා මෙම පෘෂ්ඨයන් විෂබීජ නාශක දියර මගින් පිස දැමීම කළ යුතු බව දැනුම් දී ඇත.

රෝගයෙන් ආරක්ෂා වීම සඳහා වඩාත් වැදගත් වනුයේ තමාගේ දෑත් පිරිසිදුව තබා ගැනීම, නාසය ඇස් සහ මුඛය වරින්වර ඇල්ලීමෙන් වැළකී සිටීම, උණ සෙම්ප්‍රතිශ්‍යාවේ රෝග ලක්ෂණ ඇත් නම් නිවස තුළම සිට අවශ්‍ය උපදෙස් සෞඛ්‍ය අංශ මගින් ලබාගැනීම සහ පුද්ගල දුරස්ථභාවය පවත්වා ගැනීමයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයද මේ සම්බන්ධයෙන් සිය අදහස් පළකොට ඇති බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සිය ලිපියෙන් පෙන්වා දී තිබෙනවා.