Friday, March 29, 2024

General line - 0115112241

ඔලිම්පික් උළෙල ගැන තවමත් නිල නිවේදනයක් නෑ




ජපානයේ ටෝකියෝ නුවර පැවැත්වීමට සැලසුම් කර ඇති 2020 ඔලිම්පික් උළෙල සහ පැරා ඔලිම්පික් උළෙල කල් යන ලකුණු පළ වී තිබෙනවා. ජපාන අග‍්‍රාමාත්‍ය ෂින්ෂෝ ආබේ අද (23) පළමු වරට ප‍්‍රකාශ කළේ කී‍්‍රඩා උළෙල කල් යාම මේ වනවිට වැළැක්විය නොහැකි තත්ත්වයක් බවයි.

ඔලිම්පික් උළෙලෙන් ඉවත් වන බවට පළමු වරට කැනඩාව අද නිල වශයෙන් ප‍්‍රකාශයට පත් කළා.

ඕස්ටේ‍්‍රලියාවද පවසා ඇත්තේ 2021 වසරේදී තරගාවලියට මුහුණදීම සදහා සූදානම් වන ලෙසයි.

කෙසේවෙතත් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව හෝ ජපාන බලධාරීන් ඔලිම්පික් උලෙල පිළිබද මෙතෙක් කිසිදු නිල ප‍්‍රකාශයක් සිදුකර නැහැ.

මේ අතර කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් ඉන්දියාවේ ප‍්‍රධාන නගර රැසක් ඇතුලත් වන පරිදි දිස්ති‍්‍රක්ක 80 ක් මාර්තු 31 වැනිදා තෙක් වසා දැමීමට එරට බලධාරීන් තීරණය කළා. ප‍්‍රාන්ත 22 කට අයත් මෙම දිස්ති‍්‍රක්කවලට ඉන්දියාවේ දිල්ලි අගනුවර, මුම්බායි, පූනෙයි, චෙන්නායි, කොල්කටා සහ බැංගලෝර් යන ප‍්‍රධාන නගරද අයත්. දිල්ලි නුවර පමණක් සිරවී සිටින සංඛ්‍යාව මිලියන 18 කට අධිකයි.

නවසීලන්තයද අත්‍යවශ්‍ය නොවන සියළු සේවා නතර කිරීමට තීරණය කළා. ඔස්ටේ‍්‍රලියාවද අත්‍යවශ්‍ය ආයතන පමණක් විවෘත කර තැබීමටයි පියවර ගෙන ඇත්තේ.

අසනීප තත්ත්වයෙන් සිටින පුද්ගලයින් 250 ක් රැගත් නෞකාවක් ඕස්ටේ‍්‍රලියාවේ පර්ත් නුවර වෙත ළගා වෙමින් ඇති බවද සඳහන්.

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය සළකා දෛනිකව ඇදිරි නීතිය පැනවීමට සෞදි අරාබිය තීරණය කර තිබෙනවා. ඒ, දින 21 කට කි‍්‍රයාත්මක වන පරිදියි.

අමෙරිකාවේද බොහෝ ප‍්‍රාන්තවල ජනතාවට නිවෙස් තුළටම වී සිටින ලෙසට දැනුම් දී තිබෙනවා. මේ වනවිට අමෙරිකානුවන් දෙලක්‍ෂ පනස් දහසක් කොරෝනා පරීක්‍ෂාවට ලක්කර ඇති අතර ඉන් 33,546 කට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු කර ගැණුනා.

ජර්මන් චාන්සලර් ඇන්ගෙලා මර්කල් ස්වයං නිරෝධායනයට ලක්වී තිබෙනවා. ඒ, ඇයට ප‍්‍රතිකාර කළ වෛද්‍යවරයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු කර ගැනීමත් සමගයි.

ඒ අනුව 65 හැවිරිදි ජර්මන් චාන්සලර්වරිය ඉදිරි දින කිහිපයේ නිරන්තර වෛද්‍ය පරීක්‍ෂණවලට ලක් කිරීමට නියමිතයි. ජර්මනිය තුළ පුද්ගලයින් එක්රැස්වීමට දැඩි සීමා පනවා ඇති අතර රූපලාවන්‍ය මධ්‍යස්ථානද වසා දැමුණා. අත්‍යවශ්‍ය නොවන සියළු කාර්යාල හා වෙළදසැල් සම්පූර්ණයෙන්ම වසා දමා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.