ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ආයතනයෙන් නිවේදනයක්

බැඳුම්කරයේ වෝහාරික විගණන වාර්තාව ප්‍රසිද්ධ කරන්නැයි, ඉල්ලීමක්

by Staff writer 16-01-2020 | 8:02 PM
COLOMBO (News 1st) : ශ්‍රී ලංකා මහ බැංකුවේ වෝහාරික විගණන වාර්තාව මහජනතාවගෙන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් වසන් කිරීම රාජ්‍ය මූල්‍ය අක්‍රමිකතාවන් ඉස්මතු කිරීමට සුවිශේෂී අවස්ථාවක් සලසා දීමක් බව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ය. අදාළ නිවේදනය මගින්, ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේ, හැකි ඉක්මනින් මහජනතාවට හා පාර්ලිමේන්තු නියෝජිතයන්ට අනාවරණය කරන ලෙසයි. අදාළ වාර්තාවන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර විවෘතව සංසරණය වීම වැලැක්වීමට නීතිපතිවරයා විසින් කතානායකවරයාට උපදෙස් දීම සම්බන්ධයෙන් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය අවදානය යොමු කර තිබේ. ඔවුන් පෙන්වා දෙන්නේ, නීතිපති දෙපාර්තුමේන්තුවේ නිලධාරීන් නිර්ව්‍යාජ කටයුතු කලත්, වෝහාරික විගණන වාර්තාවන් නිකුත් කිරීමේ සිදුවීමට අදාළව ඔවුන්ගේ ක්‍රියා කලාපය ප්‍රශ්න සහගත බවයි. අදාළ වෝහාරික විගණන වාර්තාව මගින්, මෙතෙක් හෙළි නොවූ, දීර්ඝ කාලයක් තිස්සේ පවතින රාජ්‍ය මූල්‍ය කළමනාකරණයේ අක්‍රමිකතාවයන් ඉස්මතු කිරීමට මුලික අඩිතාලමක් සපයනු ඇතැයි ද ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.