ශ්‍රී ලංකාවේ අලි මිනිස් ගැටුම: වාර්තාගත අලි මරණ සහ අලි 'එළවන්න ගිනි අවි'

Elephants in Sri Lanka

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, අලි ගම් වැදීම නවතාලීමට තුවක්කු ලබා දීමට එරෙහිව සත්ත්ව සංවිධාන සහ පරිසරවේදීන්ගේ දැඩි විරෝධතා මතු වී තිබේ.

අලි ගම් වැදීම නවතාලමින් අලිවැට ආරක්ෂා කිරිමට සිවිල් ආරක්ෂක බලකායේ ආයුධ සන්නද්ධ නිලධාරියන් යොදවන බව වනජීවි අමාත්‍ය එස්. එම්.චන්ද්‍රසේන පසුගියදා පැවසීය.

මේ අනුව, පසුගිය සෙනසුරාදා (ජනවාරි 11) තඹුත්තේගම පැවති වැඩසටහනක දී සිවිල් ආරක්ෂක භටයින්ට තුවක්කු බෙදා දීමේ වැඩපිළිවෙළ ආරම්භ කළේය.

එහි රැස්ව සිටි ආරක්ෂක අංශ නිලධාරීන් සහ ගොවීන් අමතා වනජීවි අමාත්‍ය එස්. එම්.චන්ද්‍රසේන පැවසුවේ, මාස ගණනක් කළ සාකච්ඡා සහ අදාළ ක්‍රියාවලිය අනුගමනය කරමින් මෙම තීරණයට එළඹුණු බවය.

"අලි මිනිස් ගැටුම අවම කිරිමට ගත හැකි සෑම ක්‍රියා මාර්ගයක්ම ගන්නවා. දැනට එක් පියවරක් ලෙස අලි වැට ආරක්ෂා කිරිමට සිවිල් ආරක්ෂක බලකායේ නිලධාරීන් යොදවනවා. අලිවැට ආශ්‍රීතව මුරකුටි සකස් කරනවා" යැයි මේ පිළිබඳ රැස්වීමක දී අදහස් දැක්වූ වනජීවී අමාත්‍ය එස්. එම්.චන්ද්‍රසේන පැවසීය.

Elephants in Sri Lanka

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ගම්මාන සහ වගාබිම් ව්‍යාප්ත වීමත් සමඟ සතුන්ට ආහාර සහ ජලය හිඟ වී තිබේ.

"එක මුරකුටියක සිවිල් ආරක්ෂක බලකායේ මෙන්ම ගමේ ඉදිරිපත්වෙන ස්වේච්ඡා පිරිස්ද සිටිනවා. ඒ අයගේ ආරක්ෂාව වෙනුවෙන් එක් මුරකුටියකට එක් තුවක්කුවක් දෙනවා ඒ තුවක්කුව දෙන්නේ හාවුන් දඩයම් කරන්නවත් වෙන වන සතුන් දඩයම් කරන්නවත් නෙවෙයි හදිසි අවශ්‍යතාවකදි බේරෙන්න බැරි තැනක් ආවොත් උඩට වෙඩි තබා වන අලි පලවා හැරිමටයි," අමාත්‍යවරයා පැවසීය.

"මේ කථාවට වැරදි අර්ථ කථනයක් සමාජ ගතවෙමින් පවතිනවා. නමුත් මම වගකීමෙන් කියනවා මේ තුවක්කු වලින් කිසිම සතෙකුට වෙඩි තැබීම තහනම් ඒ පිළිබඳ විධි විධාන නිකුත් කරල තමයි ගිනි අවිය ලබා දී තිබෙන්නේ."

"මේ ඉන්න අලි විතරක් නෙවෙයි කූඹියෙක් මරන්නවත් අපි අනුබල දෙන්නේ නැහැ" යැයි ඔහු තවදුරටත් සඳහන් කළේය.

කෙසේනමුත්, අලි ගම් වැදීම නවතාලීමට තුවක්කු ලබා දීමට එරෙහිව සත්ත්ව සංවිධාන සහ පරිසරවේදීන්ගේ දැඩි විරෝධතා මතු වී තිබේ.

Elephants in Sri Lanka

ඡායාරූප මූලාශ්‍රය, Facebook/protectsrilanka

අද දින (ජනවාරි 14) බත්තරමුල්ල, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට සාමකාමී විරෝධතාවක් ද පැවැත්වුණ අතර, වනජීවී ඇමතිගේ තීරණයට එරෙහිව "මහජන විරෝධය පළකරමින්" සංදේශයක් ද භාර දුණි.

වාර්තාගත අලි මරණ සංඛ්‍යාවක්

2019 වසර තුළ දී ශ්‍රී ලංකාවේ වාර්තාගත ලෙස අලි ඇතුන් 361 ක් මියගොස් ඇති බව පරිසරවේදීන් පිරිසක් පවසති.

මින් වැඩි ප්‍රමාණයක් මරා දමනු ලැබ ඇත්තේ මිනිසුන් විසිනි. 1948 නිදහස ලැබීමෙන් පසු වසරකදී වැඩිම අලි ඇතුන් මරණ ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ පසුගිය වසරේ දීය.

Elephants in Sri Lanka
ඡායාරූප ශීර්ෂ වැකිය, පසුගිය සැප්තැම්බර් මස හබරණ දී මියගිය අලි මවකගේ සිරුරේ දැවටෙන අවුරුදු 05 ක් පමණ වයසැති පිරිමි වන අලි පැටවා.

ශ්‍රී ලංකාව තුළ මේ වන විට අලි ඇතුන් 7,500ක් පමණ දිවි ගෙවන බව ඇස්තමේන්තු කර ඇත. ඔවුන් මරාදැමීම නීති විරෝධීය. කෙසේනමුත්, ඔවුන් වනාන්තරවලින් පිටතට පැමිණ ගම් වැදීම හේතුවෙන් අලි-මිනිස් ගැටුම් නිරන්තරයෙන් අසන්නට ලැබේ.

ශ්‍රී ලංකාව තුළ අලි ඇතුන්ට දැඩි ගෞරවයක් පළකෙරුණද, ඇතැම් ගොවීන් එම සත්ත්වයින් දකින්නේ සිය වගා පාළු කරන කෘමීන් ලෙසය.

අලි ඇතුන්ගේ මරණවලින් 85% සිදු වී ඇත්තේ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් යැයි භූමි සහ වගා ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ පරිසරවේදියෙකු වන සජීව චාමිකර බීබීසී සේවය වෙත පැවසීය.

විදුලි වැට මෙන්ම ආහාරවල සඟවා විවිධ විෂ වර්ග සහ පුපුරණ ද්‍රව්‍ය මෙම අලි ඇතුන්ට ලබා දීමට ඇතැම් ග්‍රාමීය පුද්ගලයෝ ක්‍රියා කරති.

මේ තොරතුරු ද කියවන්න:

වගා බිම් පාළු කිරීම නිසා විෂ ලබා දීමෙන් ඝාතනය කළ බවට සැක කළ හැකි අලි හත්දෙනෙකුගේ මෘතශරීර රක්ෂිතයක තිබී පසුගිය සැප්තැම්බර් මස දී සොයාගත් බව නිලධාරීහු පැවසූහ.

ගම්මාන සහ වගාබිම් ව්‍යාප්තවීමත් සමඟ සතුන්ට ආහාර සහ ජලය හිඟ වීම ඔවුන් ගම් වැදීමට ප්‍රධාන හේතුව වී තිබේ.

Elephants in Sri Lanka

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, සංචාරක ව්‍යාපාරයේ යෙදවීමට සහ උත්සවවලට ඉදිරිපත් කිරීම සඳහා හීලෑ කළ අලි ඇතුන් බොහෝ දෙනෙකු ශ්‍රී ලංකාවේ විවිධ ස්ථානවල රඳවාගෙන සිටිති.

වනාන්තර සහ ගම් මායිම් අතර විදුලි වැට ඉදිකර මෙම ප්‍රශ්නයට විසඳුම් ලබා දෙන බව බලධාරීහු බොහෝ අවස්ථාවල දී පවසා ඇත.

නමුත්, සංරක්ෂිත ප්‍රදේශවල තත්ත්වය ඉහළ නැංවීමට රජය මැදිහත් වී ක්‍රියා කළ යුතු බව සජීව චාමිකර පැවසීය. අලි ඇතුන් දිවි ගෙවන ප්‍රදේශවල ඔවුන් ආහාරයට ගන්නා තෘණ වර්ග වසාගෙන පැතිරෙන වල් පැළෑටි ඉවත් කිරීමට වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම මින් එක් ක්‍රමයක් යැයි ඔහු පැවසීය.

"අපි සිදු කරන සංවර්ධනය කිරීම් පරිසර හිතකාමී නැහැ. සංවර්ධනය සඳහා අපිට ස්ථීර සැලැස්මක් අවශ්‍යයි," සජීව පැවසුවේය.

වන අලි ගමන් කිරීමේ දී දුම්රියවල ගැටීමෙන් මරණ සිදුවන අතර, අන් අය ස්වාභාවික හේතු මත මිය යන බව ඔහු තවදුරටත් පැවසීය.

සංචාරක ව්‍යාපාරයේ යෙදවීමට සහ උත්සවවලට ඉදිරිපත් කිරීම සඳහා හීලෑ කළ අලි ඇතුන් බොහෝ දෙනෙකු ශ්‍රී ලංකාවේ විවිධ ස්ථානවල රඳවාගෙන සිටිති.

හදිසි අවස්ථාවක අමතන්න

අලි මිනිස් ගැටුම් සම්බන්ධයෙන් දැනුම් දීමට 1992 නමින් නව දුරකතන අංකයක් හඳුන්වා දී තිබේ.

1992 ඇමතීමෙන් අදාළ පුද්ගලයාට වනජීවී ප්‍රධාන කාර්යාලය සම්බන්ධ කර ගැනීමට හැකි වේ. දුරකතන අංකය දවසේ පැය 24 පුරාම විවෘත බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව කියා සිටී.

වන අලින් ගම්වැදීම , වගාබිම් විනාශ කිරීම, පහරදීම ඇතුළු අලින්ගෙන් වන ඕනෑම උවදුරක් මෙම දුරකථන අංකයට දැනුම් දීමේ හැකියාව ඇත.

එම ඇමතුම්වලට ඊට ක්ෂණික ප්‍රතිචාර දැක්වීමට කටයුතු කරන බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පැවසීය.

තවත් තොරතුරු: