ආපදා කළමනාකරණයේ ආයතන ගණනාවක් ආරක්ෂක අමාත්‍යාංශයට

ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ ආයතන ගණනාවක් ආරක්ෂක අමාත්‍යාංශය යටතට

by Staff writer 11-12-2019 | 12:05 PM

COLOMBO (News 1st) - පසුගිය රජයේ ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ විෂය පථයට අයත් වූ ආයතන ගණනාවක් ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරා ගෙන තිබේ.

ඒ, අද අලුයම නිකුත් කළ අමාත්‍යවරුන්ට අදාළ විෂය පථයන් බෙදීමේ අතිවිශේෂ ගැසට් නිවේදනය අනුවයි. ඒ අනුව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව හා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වනු ඇති. මීට අමතරව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, ආගමන විගමන දෙපාර්තමේන්තුව, ජාතික අන්තරායක ඖෂධ පාලක ජාතික මණ්ඩලය ද ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ගැසට් කර ඇත. ජාතික මාධ්‍ය මධ්‍යස්ථානය, රාජ්‍ය නොවන සංවිධාන සඳහා වන ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසන් සභාව, ශ්‍රී ලංකා හදිසි ප්‍රතිචාර සංසදය, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය හා ඊට අනුබද්ධ ආයතන මෙන්ම රක්නා ආරක්ෂක ලංකා ලිමිටඩ් ආයතනය ද ගැසට් කර ඇත්තේ ආරක්ෂක අමාත්‍යාංශය යටතේයි. ආරක්ෂක මාණ්ඩලී ප්‍රධාන කාර්යාලය, යුද, නාවික සහ ගුවන් හමුදා පොලීසිය, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, රාජ්‍ය රහස් තොරතුරු සේවය, රණවිරු සේවා අධිකාරිය, සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය, ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලය, ආරක්ෂක සේවා පාසල, ජාතික ශිෂ්‍ය බල බලකාය, ජාතික ආරක්ෂක අරමුදල ද ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ගැසට් කර තිබේ. ආරක්ෂක පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය, ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතනය, ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව හා ලංකා ලොජිස්ටික් ලිමිටඩ් ආයතනය එම අමාත්‍යාංශය යටතේ ගැසට් කළ සෙසු ආයතනයි. ඊයේ සිට බල පැවැත්වෙන පරිදි නිකුත් කර ඇති එම අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් අමාත්‍යාංශවලට අදාළ කාර්යයන් සහ විෂය පථයන් ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අනුව මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශය යටතේ මහා භාණ්ඩාගාරය, ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුව, රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව, මහ බැංකුව ඇතුළු ආයතන 48 ක් ගැසට් කර ඇත. බුද්ධ ශාසන, සංස්කෘතික, හා ආගමික කටයුතු අමාත්‍යාංශයට බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව, පුරා විද්‍යා දෙපාර්තමේන්තුව, ප්‍රසිද්ධ රැගුම් පාලක මණ්ඩලය, කෞතුකාගාර දෙපාර්තමේන්තුව, ජාතික චිත්‍රපට සංස්ථාව ඇතුළු ආයතන 23 ක් ගැසට් කර ඇත. අමාත්‍යවරුන්ට අදාළ විශය පථයන් නිවේදනය කළ ගැසට් පත්‍රය