අවුරුදු 71 ක් තිස්සේ මේ රට ගොඩගැනීමට අසමත් වූ සම්ප‍්‍රදායික දේශපාලන පෙළැන්තියක් පිළිබඳ ජනප‍්‍රිය කතාවක් මේ දවස්වල සංසරණය වෙයි. එය සැබෑ චෝදනාවකි. සාධාරණ චෝදනාවකි. ඒ නිසාම, ඊට ආකර්ශනයක් තිබේ. ‘මේ 225 ම රට කෑවා’ යැයි කියන විට, කෙනෙකුට අත්පොලසන් දීමට සිතෙයි. එහෙත්, ඊට විසඳුමක් වශයෙන් පාවිච්චියට ගත හැකි මහෝෂධය ඇත්තේ තමන් අතේ යැයි කෙනෙකු කියන විට අප පරිස්සම් විය යුතුය. මන්ද යත්, 71 වසරක අසාර්ථකත්වය යනු, එක රැයකින් ආපසු හැරවිය හැකි, සරල සූත‍්‍රයකින් විස්තර කළ නොහැකි, සංකීර්ණ ප‍්‍රශ්නාවලියක් වන බැවිනි. සංකීර්ණ ප‍්‍රශ්නවලට සරල පිළිතුරු නැත.

දූෂණය, අපේ අසාර්ථකත්වය පසුපස ඇති එක් ප‍්‍රශ්නයක් පමණි. අනෙකුත් ප‍්‍රශ්න අතරේ, විච්චූරණවලින් තොර ඉදිරි දැක්මක් නැතිකම එක් ප‍්‍රශ්නයකි. ආර්ථික සංවර්ධනය පටු දේශපාලනික අවශ්‍යතාවන්ට යට කිරීම තවත් ප‍්‍රශ්නයකි. දේශපාලනික අවශ්‍යතාවන් යනු, පක්ෂ දේශපාලනික අවශ්‍යතාවන් බවට ලඝු වීම තවත් ප‍්‍රශ්නයකි. ජනතාවාදය වශයෙන් ගැනෙන බාල ජනප‍්‍රියවාදය තවත් ප‍්‍රශ්නයකි. නිදහසේ පටන්, තරගකාරී නිෂ්පාදන ආර්ථිකයක් දක්වා දියුණු වීමට නොහැකි වීම තවත් ප‍්‍රශ්නයකි. ජාතික සමගිය සහ සංහිඳියාව ඇති කර ගැනීමට නොහැකි වීම තවත් ප‍්‍රශ්නයකි. ආගමික අන්තවාදය කළමනාකරණය කරගත නොහැකි වීම තවත් ප‍්‍රශ්නයකි. මේ ආදී වශයෙන්, 71 වසරක අසාර්ථකත්වය යනු, සංකීර්ණ ප‍්‍රශ්නාවලියක් මිස, එක තනි කේවල හේතුවක ප‍්‍රතිවිපාකයක් නොවේ.

සෑම ආගමක්ම දූෂණ-විරෝධී ය. අදින්නාදානා වේරමනී සහ මුසාවාදා වේරමනී යනුවෙන් දිනපතාම දැන් අවුරුදු 2500 ක් තිස්සේ මේ රටේ ජනතාව සමාදන් වී තිබේ. එසේ සමාදන්ව නැති වෙනත් ඇතැම් රටවල්, දූෂණය අවම කොට තිබේ. ඒ, දූෂණයට ඇති ඉඩකඩ උපරිමයෙන් සීමා වන පරිද්දෙන් රටේ ආයතන පද්ධති ඇති කිරීමෙන් සහ ශක්තිමත් කිරීමෙනි. පිළිතුරු සෙවිය යුත්තේ එවැනි පද්ධති ශක්තිමත්ව ඇති කරන්නේ කෙසේද යන්න සොයා බැලීමෙන් මිස, ‘මා බලයට පත්වූ පසු මේ 225 ගෝල්ෆේස් පිටියට ගෙනැවිත් හම ගසමි’ යැයි සිංහනාද කිරීමෙන් නොවේ.

දැන්, රටේ සියලු ප‍්‍රශ්න දූෂණයට ලඝු කරන, දූෂණ-විරෝධයම කේවල සටන්පාඨය කරගෙන සිටින, මීට දශක දෙකකට පමණ කලින් අල්ලස් ගැනීමේදී අත්අඩංගුවට පත්ව සිරගතව සිටි සහ තවමත් නීතිය ඉදිරියේ දූෂිතයන් රැකදීමෙන් ජීවිකාව සපයාගන්නා එක් නයිනටවන්නෙක්, තමන් බලයට පත්වුණොත් දූෂණය දුරලන බවත්, අලුත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වා දෙන බවත් කියයි. දූෂණය දුරලීමට එන ඔහුගේ අතීත සහ වර්තමාන දූෂිත කල්ක‍්‍රියාව ගැන පසුවට කතා කිරීමට තබමින්, මේ ලිපියෙන් මා බලාපොරොත්තු වන්නේ, ඔහුගේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව යථාර්ථයක් බවට පත්කර ගැනීමේ හැකියාව/නොහැකියාව ගැන සාකච්ඡා කිරීමටයි. තමන් විසින් අලුත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා කෙටුම්පතක් ජනාධිපතිවරණයේදී ඉදිරිපත් කරන නිසා, තමා එම ජනාධිපතිවරණයෙන් ජයගත්තොත් එයම එම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සඳහා නෛතික භාවය පැවරීමක් වශයෙන් ගත හැකි බව මොහුගේ එකම තර්කයයි. මෙය අතිශය බොළඳ, බොල් තර්කයකි.

1. මුලින්ම, ලංකාවේ අලුත් ආණ්ඩුක‍්‍රමයක් ඇති කර ගැනීම හෝ දැනට පවතින ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ ‘ආරක්ෂිත විධිවිධාන’ වශයෙන් ගැනෙන කාරණයක් සංශෝධනය කර ගැනීම සඳහා අත්‍යාවශ්‍ය කරන මූලික කාරණා දෙකක් තිබේ. එකක් වන්නේ, එය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකින් සම්මත කරගත යුතු වීමයි. දෙවැන්න වන්නේ, එකී කාරණය ජනමත විචාරණයකින්ද අනතුරුව සම්මත කරගත යුතු වීමයි. ලෝකය පුරා ඕනෑම ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් අලුතින් ගෙන ඒමට හෝ ඉහත කී පරිදි ව්‍යවස්ථාවක් තුළ පවතින ‘ආරක්ෂිත විධිවිධාන’ වෙනස් කර ගැනීමට හෝ භාවිත කෙරෙන ක‍්‍රමය වන්නේ, ඉහත කී කොන්දේසිවලට යටත්ව අනුගමනය කළ යුතු ක‍්‍රියාපරිපාටියකි.

2. එවැනි අවශ්‍යතාවක් ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටවල් ඇති කරගෙන තිබෙන්නේ ඇයි? ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් යනු, මුළු රටටම සහ සමස්ත ජනතාවටම අයත් සහ මුළු රටටම සහ මුළු ජනතාවටම බලපාන, ආවාට ගියාට හැරෙන හැරෙන පැත්තට වෙනස් කිරීමට අවකාශ තිබිය යුතු නැති බරපතල කාරණයකි. එබැවින්, මුළු ජනතාවගේම පූර්ණ අනුමැතිය ලබා ගැනීමේ ක‍්‍රමයක් නැති නිසා, උපරිම අනුමැතිය අවශ්‍ය ය යන සම්මතය ඇති කරගෙන තිබේ. පාර්ලිමේන්තුවක තුනෙන් දෙකක් සහ ජනමත විචාරණයක් යන දෙකම අවශ්‍ය කරන්නේ ඒ උපරිම අනුමැතිය සහසුද්දෙන් සහතික කර ගැනීම සඳහා ය.

3. මැතිවරණයක් සහ ජනාධිපතිවරණයක් යනු කුමක්ද? එම වචනවලින්ම අදහස් වන පරිදි, මැතිවරණයක් යනු මන්ත‍්‍රීවරුන්ව තෝරාපත් කරගන්නා අවස්ථාවකි. ජනාධිපතිවරණයක් යනු ජනාධිපතිවරයෙකුව තෝරා පත්කරගන්නා අවස්ථාවකි. ඒ අවස්ථා දෙකේදීම ඒ ඒ අපේක්ෂකයන් ජනතාව ඉදිරියේ පොරොන්දු තබන්නේ, තමාගේ ජයග‍්‍රහණය සඳහා ජනතා කැමැත්ත තමන් වෙත ලබාගැනීමටයි. එහෙත්, ඒ කිසි පොරොන්දුවක් එම අපේක්ෂකයා ලවා ක‍්‍රියාත්මක කරවා ගැනීමේ නිශ්චිත නෛතික ක‍්‍රමයක් ලෝකයේ කිසි රටක නැත. එහෙත්, පුද්ගලයෙකු හෝ පුද්ගලයන් කණ්ඩායමක් හෝ පක්ෂයක් හෝ කෙරෙහි ජනතාවගේ විශ්වාසය දිගටම පවත්වාගත හැක්කේ, දෙන ලද පොරොන්දු බලයට පත්වීමෙන් පසු ඉටු කළොත් ය. එබැවින්, තමන්ගේම පැවැත්ම සඳහා දේශපාලඥයන්ට, බලයට පත්වූ පසු, ඒ තමන් දෙන ලද පොරොන්දුවලින් යම් ප‍්‍රමාණයක් හෝ ඉටු කර දීමට සිද්ධ වන්නේය. උදාහරණයක් වශයෙන් යහපාලන වේදිකාවේ දුන් එක පොරොන්දුවක් වන දූෂිතයන් නීතිය ඉදිරියට පැමිණවීම යන්න එම යහපාලකයන් ඉටු නොකළ අවස්ථාවක ඔවුන්ට විරුද්ධව නීතියක් ක‍්‍රියාත්මක කිරීමේ අවකාශයක් නීතිය තුළ නැති බව මෙහිදී පෙන්වා දිය හැකිය. එහෙත් ඒ පුද්ගලයා හෝ පක්ෂය ඊළඟ වාරයේදී දෙන පොරොන්දු විශ්වාස කිරීමේදී දෙවරක් සිතා බැලීමට ජනතාව පෙළෙඹෙත්. පොරොන්දු දීම, පොරොන්දු ඉටු කිරීම සහ දෙන ලද පොරොන්දුවක නෛතික භාවය ගැන තත්වය එයයි.

4. එහෙත් ජනමත විචාරණයක් යනු ඊට වෙනස් දෙයකි. එනම්, ජනමත විචාරණයකින් ලැබෙන විනිශ්චයකින් පසු, එකී විනිශ්චය ඉටු කිරීමට පාලකයා නෛතිකව බැඳී සිටී. උදාහරණයක් වශයෙන්, අලුත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් ජනමත විචාරණයක් සඳහා ඉදිරිපත් කරන අවස්ථාවක, එම අලුත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට එකී ජනමත විචාරණය තුළ වැඩි ජනතා කැමැත්තක් ප‍්‍රකාශයට පත්වුවහොත්, එම අලුත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව ක‍්‍රියාවේ යෙදවීමට පාලකයෝ නීතියෙන් බැඳී සිටිති.

5. දැන් ප‍්‍රශ්නයක් මතුවෙයි. ජනාධිපතිවරණයකදී හෝ මැතිවරණයකදී දේශපාලඥයා දෙන පොරොන්දු ඉටු කිරීමට එම දේශපාලඥයා නීතියෙන් බැඳී නැත්නම්, ජනමත විචාරණයකදී ජනතාව දෙන තීන්දුව ක‍්‍රියාත්මක කිරීමට එම බලධාරීයා නීතියෙන් බැඳී ඇතැයි කිව හැක්කේ කෙසේද?

(අ) පිළිතුර ඉතා සරළ ය. හේතුව, එකී ජනමත විචාරණයට ඉදිරිපත් කෙරෙන්නේ අදාළ තනි කාරණයක් පමණක් බැවිනි.

(ආ) ඊළඟට, දෙපාර්ශ්වයම අදාළ කාරණය වෙනුවෙන් (උදාහරණයක් වශයෙන් අලුත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් අරභයා) ජනතාව පෙළගස්වන්නේ, තනිකරම එකී කාරණයට, එක්කෝ පක්ෂව ය. නැත්නම් විපක්ෂව ය. ඒ නිසා, අවසානයේ ලැබෙන නිගමනය නිශ්චිත වන්නේය. එනම්, එක්කෝ අලුත් ව්‍යවස්ථාව පිළිගැනීම ය. නැත්නම් එය ප‍්‍රතික්ෂේප කිරීම ය. එහෙත් ඊට වෙනස්ව, නයිනටවන්නාම පවා, මේ කියන අලුත් ව්‍යවස්ථාවට අමතරව, තවත් නොයෙක් දේ ජනාධිපතිවරණයේදී පොරොන්දු වෙයි. උදාහරණයක් වශයෙන්, දූෂණය අවසන් කරන බව හේ කියයි. ගොඩගැසී ඇති ණය ප‍්‍රමාණය අදාළ රටවල්වල අනුමැතිය ඇතිව හෝ නැතිව අහෝසි කර දමන බව හේ කියයි. ඒ තත්වය යටතේ, ඔහු වෙනුවෙන් ඡන්දය පාවිච්චි කළ සියලු දෙනා එසේ කෙළේ අර කියන අලුත් ව්‍යවස්ථාව සඳහා පමණක්ම නොවන්නට පුළුවන. කෙනෙක්, දූෂණය අහෝසි කිරීම සඳහා ඡන්දය පාවිච්චි කළා විය හැකිය. තවත් කෙනෙක්, රටේ ණය බර එක රැයකින් ඉවරයක් කර ගැනීම සඳහා ඡන්දය පාවිච්චි කළා විය හැකිය. ඒ නිසා, ඔහු ලැබූ ඡන්ද සියයට 50 සහ එක ඡන්දය, මුළුමණින් අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සඳහා පමණක් පාවිච්චි වූවා සේ සැලකිය නොහැක. එසේ නම්, ඔහු වෙනුවෙන් පාවිච්චි නොකළ ඉතිරි සියයට 49.99999999… සමග, ඉහත කී පරිදි, ඔහු වෙනුවෙන් පාවිච්චි කළ ඡන්ද අතරේ අලුත් ව්‍යවස්ථාවට පිටස්තර වෙනත් කරුණක් වෙනුවෙන් පාවිච්චි කළ එක ඡන්දයක් හෝ ඇත්නම්, ඔහුගේ අලුත් ව්‍යවස්ථාව සඳහා ‘බහුතරයක්’ ජනතාවකගේ අනුමැතිය ඇතැයි, ඔහු ජනාධිපතිවරණයෙන් ජයගත්තත් කෙනෙකුට කිව නොහැක.

(6) දැන් අපි මෙය, නයිනටවන්නා කියන ක‍්‍රමය සමග සසඳා බලමු: ඉදිරියේ පැවැත්වෙන ජනාධිපතිවරණය පුද්ගලයෙකු තෝරා ගැනීම සඳහා මිස, නිශ්චිත තනි කාරණයක් භාර ගැනීම හෝ තනි කාරණයක් ප‍්‍රතික්ෂේප කිරීම සඳහා පැවැත්වෙන ඡන්දයක් නොවන්නේය. ඒ නිසා, නයිනටවන්නා කාරණා කිහිපයක් ඉදිරිපත් කරන අතරේ, අනිත් අපේක්ෂකයන් තවත් කාරණා කිහිපයක් ඉදිරිපත් කොට ඇත්නම්, රටේ සමස්ත ඡන්දදායක ප‍්‍රජාව ඡන්දය පාවිච්චි කොට ඇත්තේ, විෂම කාරණා සමුදායකට විවිධ වටිනාකමින් දෙමින් බව අපට නිගමනය කිරීමට සිදුවෙයි.

ඊට ප‍්‍රතිපක්ෂව, ජනමත විචාරණයක් සඳහා නයි නටවන්නාගේ අලුත් ව්‍යවස්ථාව පමණක් ඉදිරිපත් කොට ඡන්දයක් (ජනමත විචාරණයක්) පවත්වන්නේ නම්, එහිදී ඔහුගේ ව්‍යවස්ථාවට පක්ෂව ලැබෙන (වැඩි) ඡන්දය අනිවාර්යයෙන්ම ඔහුට විපක්ෂ මතය ප‍්‍රතික්ෂේප කිරීමක් වශයෙන් නිශ්චිතව ගත හැකිය. ජනාධිපතිවරණයකින් හෝ පාර්ලිමේන්තු මැතිවරණයකින්, ජනමත විචාරණයක් වෙනස් වන්නේ ඒ කාරණය පදනම් කරගෙන ය.

(7) දැන් නයිනටවන්නා කියන පරිදි, ජනාධිපතිවරණය සඳහා තමන් අලුත් ව්‍යවස්ථාවක් ඉදිරිපත් කරමින් ජයග‍්‍රහණය කළත්, එම ජයග‍්‍රහණය අර කියන අලුත් ව්‍යවස්ථාව සඳහා නෛතික පදනමක් නොවන්නේ මන්ද යන්න කෙනෙකුට වැටහිය යුතුය. අවසාන වශයෙන්, නයිනටවන්නාගේ තර්කය නිවැරදි යැයි අප පිළිගන්නේ නම්, රටකට තමන්ගේ ව්‍යවස්ථාව වෙනස් කර ගැනිමට හෝ අලුත් ව්‍යවස්ථාවක් පනවා ගැනීමට, ඕනෑම ජනාධිපතිවරණයකින් හෝ පාර්ලිමේන්තු මැතිවරණයකින් කරගත හැකි විය යුත්තේය. එවැනි රටක් ලෝකයේ කොහේවත් නැත.

ඊළඟට, නයිනටවන්නා ජයග‍්‍රහණය කොට ඒ කියන අලුත් ව්‍යවස්ථාව ක‍්‍රියාත්මක කිරීමේදී මුහුණදිය හැකි ප‍්‍රායෝගික පැත්ත දෙස බලමු:

(අ) ඔහු පාර්ලිමේන්තුව අහෝසි කරන බවට ‘අත්සන් කරයි’. ශ්‍රේෂ්ඨාධිකරණය අහෝසි කරන බවට ‘අත්සන් කරයි’. දැන් මේ ‘අත්සන’ අනුව කටයුතු කරන පොලීසියක් සිටිය යුතුය. ත‍්‍රිවිධ හමුදාවක් සිටිය යුතුය. රාජ්‍ය සේවයක් තිබිය යුතුය. ඒ සියල්ලටමත් වඩා, ඔහුගේ සියයට 50 ක් සහ එක ඡන්දයක් වන සුජාත භාවය පිළිගන්නා සමස්ත මහජනතාවක් සිටිය යුතුය. ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන් ඔහුගේ ජයග‍්‍රහණයෙන් පසු ඊළඟ දවසේත් විනිශ්චයාසන වෙත ආවොත් නයිනටවන්නා එය නතර කරන්නේ කෙසේද? නයිනටවන්නා කියන, තමන්ගේ ‘අත්සනේ’ නෛතික භාවය එකී අධිකරණයෙන්ම ඔප්පු කර නොගන්නා තෙක්, එම ‘අත්සන’ පිළිගැනීම පොලීසියට, ත‍්‍රිවිධ හමුදාවට සහ රාජ්‍ය සේවයට කළ හැකි දෙයක් නොවේ. ඉහළ බලධාරියෙකු විසින් දෙන ලද නියෝගයක නීත්‍යානුකූල භාවය නැත්නම් එම නියෝගය භාරගැනීමට හෝ පිළිපැදීමට පහත් නිලධාරීන් කිසිවෙකු බැඳී නැති බව, මීට අවුරුදු 75 කට පෙර දෙවැනි ලෝක මහා යුද්ධය අතරතුරේ සිදු වූ මහා විනාශයක් අරභයා පැවැති නියුරෙම්බර්ග් විනිශ්චය මගින් අද වන විට ලෝක සම්මතයක් බවට පත්කොට තිබේ. එබැවින්, නයිනටවන්නාට තමන්ගේ ‘අත්සන’ නීත්‍යානුකූල බව යම් බලධාරී ආයතනයක් හෝ බලධාරී නෛතික සම්මතයක් මගින් ඔප්පු කර පෙන්වීමට සිදුවන්නේය.

(ආ) මෙකී සියලූ කරුණු ප‍්‍රතික්ෂේප විය හැකි එක තත්වයක් තිබේ. එනම්, හමුදාවේ සහ පොලීසියේ යම් කොටසකගේ අනුග‍්‍රහය ඇතිව, අදාළ කරුණු බලහත්කාරයෙන් ක‍්‍රියාවේ යෙදැවීමයි. එයට අප කියන්නේ, ඒකාධිපතිත්වයක් හෙවත් ආඥාදායකත්වයත් කියා ය. නයිනටවන්නා ඉදිරිපත් කරන්නේ එම තර්කය නම්, ඉහත කී මගේ සියලු තර්ක මම ඉල්ලා අස්කර ගමි.

ගාමිණී වියන්ගොඩ | Gamini Viyangoda