සෙන්චෝලෙයි ළමා නිවාස ප්‍රහාරය: "අපේ දරුවන්ට යුක්තිය ඉටු කරන්න"

සෙන්චෝලෙයි
ඡායාරූප ශීර්ෂ වැකිය, "අපේ ළමයි වෙනුවෙන් සාධාරණය ඉටු කර දෙන්න"

මුලතිව් 'සෙන්චෝලෙයි' ළමා නිවාසයට ප්‍රහාර එල්ල කළ පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර යුක්තිය ඉටු කරන ලෙස එම ප්‍රහාරයෙන් මරණයට පත් දැරියන්ගේ දෙමව්පියෝ ඉල්ලා සිටිති.

එම දෙමව්පියන් විසින් එකී ඉල්ලීම කරන ලද්දේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් එල්ල කරන ලදැයි පැවසෙන ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් දැරියන් සිහි කිරීමට බදාදා (අගෝස්තු 14) පැවති දහතුන් වෙනි වාර්ෂික අනුස්මරණ වැඩසටහනේදී අදහස් දක්වමිනි.

2006 අගෝස්තු 14 වෙනිදා උදෑසන 7.05 ට 'සෙන්චෝලෙයි' ළමා නිවාසය වෙත එල්ල කෙරුණ ගුවන් ප්‍රහාරයෙන් ළමා නිවාසයේ සිටි වයස අවුරුදු 16 - 18 ත් අතර දැරියන් හැටඑක් (61) දෙනෙකු එම ස්ථානයේදීම මරණයට පත් වූ බව ප්‍රදේශවාසීහු පවසති.

කෙසේ නමුත් එකී චෝදනා ප්‍රතික්ෂේප කළ එවකට බලයේ සිටි ආණ්ඩුව කියා සිටියේ "එල්ටීටීඊ පුහුණු පාසලක් ඉලක්ක කර ප්‍රහාරය එල්ල කළ" බවය.

'සෙන්චෝලෙයි' ප්‍රහාරය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNICEF) විසින් ද අවධානය යොමු කරනු ලැබුණි.

ප්‍රහාරයෙන් මරණයට පත් දැරියන් සිහි කිරීමේ සමරු මෙහෙයට එම දැරිවයන්ගේ පවුල්වල ඥාතීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

"අවුරුදු 18 අඩු හැට එක්දෙනෙකු මරුට"
ඡායාරූප ශීර්ෂ වැකිය, "අවුරුදු 18 අඩු හැට එක්දෙනෙකු මරුට"

ශ්‍රී ලංකා ආණ්ඩුවේ හමුදා සහ එල්ටීටීඊ සංවිධානය අතර පැවති යුද්ධය 2009 වසරේ මැයි මස 18 වෙනිදා අවසන් විය.

දශක තුනක් පුරා පැවති ගැටුම්වලින් දිවයිනේ උතුරේ සහ දකුණේ ලක්‍ෂයක පමණ මහජන ජීවිත විනාශයක් සිදුව ඇතැයි ඇස්තමේන්තු කෙරෙයි.

තවත් දහස් ගණනක් තවමත් අතුරුදන් වූ මට්ටමේ සැලකෙති.

අනුස්මරණ වැඩසටහනට සහභාගී වුවන්
ඡායාරූප ශීර්ෂ වැකිය, අනුස්මරණ වැඩසටහනට සහභාගී වුවන්

ශ්‍රී ලංකාවේ යුද අපරාධ හා මානව හිමිකම් උල්ලංඝණය වීම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ විමර්ශන කමිටු වාර්තාව 2015 වසරේදී නිකුත් කෙරිණි.

එම වාර්තාවේ ප්‍රධාන නිගමනය වූයේ, රජයේ හමුදා සහ දෙමළ විමුක්ති කොටි සංවිධානය (එල්ටීටීඊ) යන දෙපාර්ශවය ම යුද අපරාධ ලෙස සැලකිය යුතු අපරාධවලට වගකිව යුතු බවට පිළිගත හැකි සාක්ෂි තිබෙන බවය.

ශ්‍රී ලංකා ආණ්ඩුව තමන්ට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරයි.

එකී චෝදනා සහ එම චෝදනාවන්ට අදාළ වාර්තාව සඳහන් කරන අදාළ සිදුවීම් අධිකරණමය පරීක්ෂණයකට ලක් කරමින්, වරදකරුවන්ට දඬුවම් ලබා දිය යුතු බව එක්සත් ජාතීන්ගේ විමර්ශන කමිටු වාර්තාව නිර්දේශ කරයි.