"ආරක්ෂක අමාත්‍යවරුන් පත් කරන්නේ නිසි ක්‍රමවේදයකට නෙවෙයි" - සරත් ෆොන්සේකා

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව

ඡායාරූප මූලාශ්‍රය, Www.news.lk

ශ්‍රී ලංකාවේ ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ධූර පිරිනැමීමේදී අනුගමනය කරන ක්‍රමවේදය පිළිබඳව සෑහීමකට පත් විය නොහැකි බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මන්ත්‍රීවරයා පවසයි.

හිටපු හමුදාපතිවරයා මේ බව ප්‍රකාශ කළේ, අඟහරුවාදා (අගෝස්තු 06) පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේදී ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධනගෙන් සාක්ෂි විමසන අතරතුරදීය.

එහිදී, ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයාගෙන් විමසා සිටියේ, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ධූරය භාර ගන්නා අවස්ථාවේ ආරක්ෂාව පිළිබඳව යම් දැනුමක් තිබුණේ ද? යනුවෙනි.

එවැනි දැනුමක් තමන්ට නොතිබූ බවත් එවැනි දැනුමක් තිබුණේ නම් එය වඩා හොඳ බවත් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන පැවසීය.

රුවන් විජේවර්ධන තවදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේ, තමන්ට ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ධූරය පිරිනමා තිබුණ ද රාජ්‍ය ආරක්ෂාවට අදාළ විෂයයන් තමන්ගේ භාරයේ නොතිබුණු බවය.

"මගේ යටතේ තිබුණේ, රණවිරු සේවා අධිකාරිය, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, රක්නා ලංකා සහ ශිෂ්‍ය භට බළකාය කියන ආයතන විතරයි. හැබැයි ගැසට් එකේ තියෙනවා අවශ්‍ය වූ විට රාජ්‍ය ආරක්ෂක කටයුතුවලට සහය වෙන්න කියලා. ඒ අනුව තමයි මම ආරක්ෂක කවුන්සිලයේ රැස්වීම්වලට සහභාගි වුණේ," රුවන් විජේවර්ධන පැවසීය.

"රාජ්‍ය ආරක්ෂාව පිළිබඳ වගකීම් ඔබ යටතේ නොතිබුණාට ආරක්ෂාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ අසන ප්‍රශ්නවලට පිළිතුරු දුන්නේ ඔබ නේද? ඒක ඔබතුමා අපහසුතාවට පත් කිරීමක් නේ ද?" යනුවෙන් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ප්‍රශ්න කළේය.

"ඔව්. මම එහෙම අපහසුතාවට පත්වෙලා තියෙනවා," රුවන් විජේවර්ධන එය පිළිගත්තේය.

එහිදී සාක්ෂි ලබා දෙමින් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා සඳහන් කළේ, පසුගිය ඔක්තෝබර් මාසයේදී සිදුවූ ව්‍යවස්ථාව මුල් කර ගත් අර්බුදයෙන් පසු තමන්ට ආරක්ෂක කමිටුවට ආරාධනා නොලැබුණු බවය.

කෙසේ වෙතත්, 2017 වසරේදී පැවති රැස්වීමකදී මුස්ලිම් අන්තවාදීන් පිරිසකගේ ක්‍රියා හේතුවෙන් දේවස්ථාන දෙකක් අතර ගැටුමක් සම්බන්ධයෙන් සාකච්ඡා කළ අතර එහිදී ත්‍රස්තවාදී තත්ත්වයක් පිළිබඳව සාකච්ඡා නොවූ බව ඔහු සඳහන් කළේය.

ඒ හැරුණුවිට පාස්කු ඉරු දින ප්‍රහාරය එල්ල වන තෙක් ඒ සම්බන්ධයෙන් කිසිවක් තමන් දැන නොසිටි බව ද ඔහු පැවසීය.

පාස්කු ප්‍රහාරයෙන් පසු

"මම ප්‍රහාරය සිද්ධ වුණාට පස්සේ ආරක්ෂක අමාත්‍යංශයට ගියා. ඒ වෙලාවේ කවුරුවත් හිටියේ නැහැ. ආරක්ෂක ලේකම් තුමා ඒ වෙලාවේ බෝම්බ ප්‍රහාර එල්ල වුණු ස්ථාන නිරීක්ෂණය කරන්න ගිහින් හිටියා. පස්සේ, ආරක්ෂක ලේකම්, එරාන් වික්‍රමරත්න, හර්ෂ ද සිල්වා සහ අජිත් පෙරේරා ආරක්ෂක අමාත්‍යංශයට ආවා," ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන පැවසීය.

රුවන් විජේවර්ධන

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එදින දුරබැහැර ගොස් සිටි බවත් දුරකතනයෙන් කිහිප වරක් ම තමන් ඇමතූ බවත් ඔහු සඳහන් කළේය.

"අගමැතිතුමා මට කිව්වා කොළඹ ඇවිත් කෝල් කරන්නම් කියලා. ඊට පස්සේ ආරක්ෂක ලේකම්, ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ පොලිස්පති එක්ක අරලිය ගහ මන්දිරයට ඇවිත් හම්බ වෙන්න කියලා කිව්වා. එතුමා ඇවිත් මට කතා කරලා කිව්වා කට්ටිය එක්ක එන්න කියලා. ඒත් එතුමා පැයක් ඇතුළත දෙපාරක් කෝල් කළත් අනිත් කට්ටිය එහෙ යන්න උනන්දුවක් දැක්වුවේ නැහැ. පස්සේ තුන් වෙනි පාර අගමැති තුමා මට කතා කරලා ඇහුවා ඕගොල්ලන්ට එන්න බැරි නම් මම එන්න ද අමාත්‍යංශයට කියලා. මම කිව්වා පුළුවන් නම් එන්න කියලා. ඊට පස්සේ අගමැති තුමා ඇවිත් ජනාධිපතිතුමාටත් කතා කරලා ඇඳිරි නීතිය පනවන්න උපදෙස් දුන්නා."

මේ අතර, ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර ඇති වූ අර්බුදකාරී තත්ත්වයෙන් පසු තමන්ට ආරක්ෂක කවුන්සිලයට ඇරයුම් නොලැබුණු බව ද ඔහු පැවසීය.

මෙහිදී සාක්ෂි දෙමින් ඔහු ප්‍රකාශ කළේ, ඊට පෙර මුස්ලිම් අන්තවාදී ක්‍රියා නතර කිරීම සඳහා ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් තමන් සහභාගි වූ ආරක්ෂක කවුන්සිල රැස්වීම්වලදී තමන්ට උපදෙස් හෝ වගකීමක් නොපැවරුණු බවය.

නිරන්තරයෙන් ලේකම්වරුන් වෙනස් කළ හෙයින් ආරක්ෂක අමාත්‍යංශයේ ස්ථාවරභාවය සම්බන්ධයෙන් ප්‍රශ්නකාරී තත්ත්වයක් පැවති බව ද රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන සඳහන් කළේය.