දැල්පන්දු ලෝක කුසලානය: "අඩු ප්‍රචාර හා අපහසුතා" මැද "ආක්‍රමණශීලීත්වයට" වෙර දරන ආසියානු ශුරියෝ
"පොඩි කාලේ බොහෝ දෙනෙක් කිව්වා ක්‍රීඩාවට යොමු වෙන්න එපා ඉගෙන ගන්න එක අතපසු වෙයි කියලා. නමුත් අපේ කණ්ඩායමේ උපාධිධාරීන් කිහිප දෙනෙක් ම ඉන්නවා."
"ක්‍රීඩාවෙන් ලැබෙන විනයගරුක බව අධ්‍යාපනයෙන් ඉදිරියට යන්න පිටිවහලක් වෙනවා. ක්‍රීඩාව හොඳින් කරන ළමයෙකුට ජීවිතය සමබර ලෙස ඉදිරියට ගෙන යන්න පුළුවන්. ඒ වගේ ම ඕනෑ ම අභියෝගයකට මුහුණ දෙන්න පුළුවන්," ක්‍රීඩාව හා ජීවිතය සමබර කර ගැනීම පිළිබඳව බීබීසී සිංහල සේවය සමග එසේ අදහස් පළ කළේ ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමේ නායිකා චතුරංගි ජයසූරිය.
ආසියානු දැල්පන්දු ශුරියන් එක්සත් රාජධානියේ ලිවර්පූල්හිදී බීබීසී සිංහල සේවයට හමුවූයේ, ඔවුන් ලෝක කුසලාන දැල්පන්දු තරගාවලියට සහභාගි වෙමින් සිටින අතරතුරදීය.
මෙවර දැල්පන්දු ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලැබූ කණ්ඩායම් 16ක් කාණ්ඩ හතරක් යටතේ මූලික වටයේ තරග සඳහා තරග වැදිණි.
ඊයේ දින (ජූලි 15) ආසියානු ශුරයන් වන ශ්‍රී ලංකා කණ්ඩායම සහ අනුශුරයන් වන සිංගප්පූරු කණ්ඩායම අතර පැවති තරගයෙන් ගෝල 88-50ක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කළේය.
ශ්‍රී ලංකා කණ්ඩායමේ තර්ජිනී සිවලිංගම් මෙම තරගයේදී ගෝල 76ක් ලබා ගැනීම මෙහිදී කැපී පෙනිණි.
මින් පෙර ශ්‍රී ලංකාව මූලික වටයේ තරගවලදී සිම්බාබ්වේ, අයර්ලන්ත සහ ඔස්ට්‍රේලියානු කණ්ඩායම් සමග තරග වැදුණු නමුත්, ජයග්‍රහණයක් අත්කර ගැනීමට නොහැකි විය.
බොහෝ අනාවැකි පළ වී ඇත්තේ මින් පෙර එකොළොස් වතාවක් ලෝක කුසලානය දිනූ ඔස්ට්‍රේලියානු කණ්ඩායම මෙවරත් ජයග්‍රහණය කරනු ඇති බවටය.
මෙවර දැල්පන්දු ලෝක කුසලාන තරගාවලියට ආසියාවෙන් සුදුසුකම් ලැබුවේ ශ්‍රී ලංකාව සහ ආසියානු අනුශූරයන් වූ සිංගප්පූරු කණ්ඩායම පමණි.
ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් චතුරංගි ජයසූරිය, ගයනි දිසානායක, දර්ශිකා අබේවික්‍රම, තර්ජිනී සිවලිංගම්, තිලිනි වත්තේගෙදර, ගයාන්ජලී අමරවංශ, හසිතා මෙන්ඩිස්, දීපිකා දර්ශනී, දුලංගි වන්නිතිලක, දුලංගා ධනංජි, එලිලෙන්තිනි සේතුකවලර්, නෞචලී රාජපක්ෂ සහභාගි වූ අතර, අතිරේක ක්‍රීඩිකාවන් ලෙස මරීසා ප්‍රනාන්දු, සුරේකා ගමගේ සහ ගයත්‍රි කෞශල්‍යා ලෝක කුසලාන සංචිතයට ඇතුළත් වී ඇත.
ලෝකයේ උසින් වැඩි ම දැල්පන්දු ක්‍රීඩිකාව ලෙස හඳුන්වන, අඩි 6 අඟල් 11ක් උසැති තර්ජිනී සිවලිංගම් මෙවර ද ශ්‍රී ලංකා කණ්ඩායමේ විදින්නිය (goal shooter) ලෙස ක්‍රීඩා කරන්නීය.
යාපනයේ දිවි ගෙවන තර්ජිනීට පාසල් අධ්‍යාපනය ලබන කාලයේදී සිය ශරීරයේ උස හේතුවෙන් බොහෝ දෙනාගේ උසුළු විසුළුවලට මුහුණ දීමට සිදුව තිබේ. මේ වන විට හතළිස් වන වියේ පසුවන ඇය දැල්පන්දු ක්‍රීඩාවට යොමු වී ඇත්තේ සිය දිවි මගේ විසි වන විය පසු කරන විටය.
2011 වර්ෂයේ ලෝක කුසලාන තරගාවලියේ 'දක්ෂතම විදින්නිය' ලෙස තර්ජිනී සම්මාන ලැබීය. මෙවර ද ඇයට එම සම්මානයට හිමිකම් කීමේ ඉඩකඩ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.
ඇයගේ දේහ ලක්ෂණ හේතුවෙන් අත්දුටු මිහිරිතම මතකය ගැන ඇසූ විට, "ශ්‍රී ලංකා නෙට්බෝල් කණ්ඩායම නියෝජනය කිරීමට ලැබීම" යැයි ඇය පැවසුවාය.
"අපි යම් ඉලක්කයකට යනකොට අපිට ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙනවා. මම ගැන කිව්වොත්, මගේ ගම යාපනය. හැබැයි මම කොළඹ නතර වෙලා ඉඳලා තමයි පුහුණුවීම් සඳහා එන්නේ. මුදල් ප්‍රශ්න වගේ ම තමන්ට එන ඕනෑ ම ප්‍රශ්නයකට මුහුණ දෙන්න ලෑස්ති වෙන්න කියලා මම අලුතෙන් නෙට්බෝල් සෙල්ලමට එකතු වෙන අයට කියනවා," තර්ජිනී පැවසීය.
කෙසේ වෙතත්, ජාතික මට්ටමේ ක්‍රීඩාවට එක්වෙද්දී විශේෂයෙන් කාන්තාවන්ට අභියෝග රැසකට මුහුණ දීමට සිදුවන බව උපනායිකා ගයනි දිසානායක පැහැදිලි කළාය.
"අපි ජාතික මට්ටමේ ක්‍රීඩිකාවන් බවට පත් වුණා ම කාන්තාවන්ට ම අයිති වැඩ කටයුතු සියල්ල සිදු කරන්න අපහසු වෙනවා. අපි පුහුණුවීම් සහ තරගවලට ගිහින් කාලසටහනකට අනුව වැඩ කරන නිසා සාමාන්‍ය කාන්තාවකට පැවරෙන වගකීම් සියල්ල ඉටු කරන්න බැරි වෙනවා."
"නමුත් කාන්තාවක් විදියට ජාතික කණ්ඩායමකට තේරිලා, ලෝක කුසලාන තරගාවලියක් නියෝජනය කරන්න ලැබීම වාසනාවක් විදියට මම සලකනවා," යැයි ද ඇය සඳහන් කළාය.
"ක්‍රීඩාව දැන් වෙනස්"
ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමේ අතිදක්ෂ ක්‍රීඩිකාවන් රැසක් සිටියත්, ඔවුනට 'තරගකාරී' අවස්ථාවලට සහභාගි වීමට ඉඩකඩ නොලැබෙන බව ප්‍රධාන පුහුණුකාරිය තිලකා ජිනදාස පැවසුවාය.
"අපි ලෝක කුසලාන තරගාවලියේ තරගවලට සහභාගි වෙනකොට තේරෙනවා, දැන් මේ ක්‍රීඩාව යම් දුරකට වෙනස් වෙලා කියලා."
"ලංකාවේදී අනෙක් පිලේ ක්‍රීඩිකාවගේ ඇඟේ යන්තම් වැදුණත් තරග තීරකවරුන් විසිල් එක ගහලා තරගය නතර කරනවා, නමුත් ලෝක කුසලාන තරගාවලියේදී එහෙම වුණේ නැහැ," තිලකා ජිනදාස පැවසුවාය.
1997 වර්ෂයේදී ශ්‍රී ලංකාව දැල්පන්දු ආසියානු කුසලානය ජයග්‍රහණය කළ අවස්ථාවේ එම කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩිකාවක වන තිලකා, වසර හතක කාලයක් බෲනායි ජාතික කණ්ඩායමේ පුහුණුකාරිය ලෙස ද කටයුතු කර තිබේ.
"ඇඟේ හැප්පිලා කරන ක්‍රීඩාවක් බවට මෙය වෙනස් වෙලා තිබෙන නිසා, අපිට මීට වඩා ආක්‍රමණශීලී වෙන්න පුරුදු වෙන්න ඕනේ. ඒ වගේ ම බය නැති වෙන්න ඕනේ. ඒ සියල්ල පුහුණුවීම්වලින් විතරක් කරන්න බැහැ. එයට ලෝකය පුරා තිබෙන නෙට්බෝල් තරගාවලිවලට සහභාගි වෙන්න ඕනේ. තරගකාරීත්වය ඇති කර ගන්න ඕනේ."
"අපිට නිතර ම ලැබෙන්නේ මිත්‍රශීලී තරගාවලිවලට සහභාගි වෙන්න. ඒවායෙන් අපිට තරගකාරී අත්දැකීම් ලැබෙන්නේ නැහැ. ලෝක කුසලානයට සහභාගි වූ අනෙක් කණ්ඩායම් දින ගණන් තරගාවලිවලට සහභාගි වෙලා අත්දැකීම් තිබෙන අය," තිලකා ජිනදාස තවදුරටත් පැවසීය.
ශ්‍රී ලංකාව තුළ දැල්පන්දු ප්‍රචාරය කිරීම සඳහා මේ වන විට අනුගමනය කරන ක්‍රියාමාර්ග පිළිබඳ පැහැදිලි කළ ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ සභාපතිනි ට්‍රික්සි නානායක්කාර පැවසුවේ, "අපි මේ වන විට පෞද්ගලික ආයතන සමග ප්‍රචාරණ කටයුතු සහ අනුග්‍රහය සඳහා වසර තුනට ගිවිසුම් අත්සන් කර තිබෙනවා," යනුවෙනි.
ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වූ තරග නරඹමින් ඔවුන්ට සහය දැක්වීමට පැමිණ සිටියේ ඉතා සුළු පිරිසකි.
ජූලි 13 වන දා ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය සමග පැවති තරගය සඳහා විශාල නරඹන්නන් පිරිසක් පැමිණ සිටි අතර, ඔවුන්ගෙන් වැඩි දෙනා අයර්ලන්ත ජාතිකයන්ය. ඒ අනුව, තරගය අතරතුර ක්‍රීඩාගාරයෙන් අයර්ලන්ත කණ්ඩායමට විශාල සහයෝගයක් ලැබුණු අතර, ශ්‍රී ලංකා කණ්ඩායම දිරි ගන්වන හඬක් ප්‍රේක්ෂකාගාරයෙන් නෑසුණු තරම්ය.
"අපි දරුවෝ දෙන්නත් එක්ක ලන්ඩන් නුවර ඉඳන් පැය පහක විතර ගමනක් ආවා මේ නෙට්බෝල් තරග බලන්න. අපි පුතාට ක්‍රිකට් ලෝක කුසලාන තරගයක් පෙන්නුවා. දුවට නෙට්බෝල් තරගයක් පෙන්වන්න තමයි ආවේ. හැබැයි ප්‍රේක්ෂකාගාරයේ ලංකාවට සහය දක්වන අය හිටියෙ ම නැති තරම්," යැයි ශ්‍රී ලංකා, අයර්ලන්ත තරගය නැරඹීමට සිය පවුලේ අය සමග පැමිණි කාන්තාවක පැවසුවාය.
මේ තොරතුරු ද කියවන්න:
තරගාවලිය පැවැත්වෙන ලිවර්පූල්, වයඹ දිග එංගලන්තයේ මුහුදුබඩ නගරයක් වන අතර මෙහි පදිංචි වී සිටින ශ්‍රී ලාංකිකයන් කිහිප දෙනෙක් ද දැල් පන්දු ලෝක කුසලාන තරග නැරඹීමට පැමිණ සිටියහ.
"ලිවර්පූල්වල ඉන්න ශ්‍රී ලංකාවේ අය කෑම, බීමවලින් වගේ ම, අපිට හැකි සෑම ආකාරයෙන් ම අපේ කණ්ඩායමට සහය දක්වනවා. නමුත් ක්‍රිකට්වලට තරම් මේ ක්‍රීඩාවට ප්‍රචාරයක් ලබා දීලා නැහැ. ඒ වගේ ම වැඩි පහසුකම් ලබා දීලා නැහැ කියලත් අපිට පෙනෙනවා," යැයි ලක්ෂිකා හර්ෂණී අඹගල බීබීසී සිංහල සේවයට පැවසීය.