හතුරුසිංහගේ වැටුපට කරන සේවය සාධාරණ ද?

හතුරුසිංහගේ වැටුපට කරන සේවය සාධාරණ ද?

by Staff writer 21-01-2019 | 8:41 PM

COLOMBO (News 1st) - හිටපු ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතාගේ පාලන සමයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරුට අතිවිශාල වැටුප් සහ දීමනා ලබාදීමට ඇතිකරගත් එකඟතා දැන් අනාවරණය වෙමින් පවති.

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අතර ගිවිසුම 2018 ජනවාරි මස පළමු වන දා සිට 2020 වසරේ දෙසැම්බර් මස 31 වන දා දක්වා බලපැවැත්වේ. ගිවිසුමට අනුව ඔහුට ලැබෙන මාසික මූලික වැටුප අමෙරිකානු ඩොලර් 20000 කි. ජීවන වියදම් දීමනාවක් ලෙස තව ත් ඩොලර් 10000 ක්ද 16% ඉක්මවා යන විට බදු මුදල් ද ක්‍රිකට් ආයතනය ගෙවිය යුතුයි. පසුගිය දිනක ක්‍රිකට් එජ් වෙබ් අඩවිය වාර්තා කළේ, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නැවත ප්‍රතිසංස්කරණය කිරීම උපාය මාර්ගික සැලසුම් හා උපදේශන වෙනුවෙන් සකස් කරන වාර්තා දෙකකට ඩොලර් 120000 ක් ගෙවීමට ද එකඟවී ඇති බවයි. ගෙවීම් ප්‍රමාද වන අවස්ථාවල 2% ක අමතර ගාස්තුවක් ද ගෙවිය යුතු අතර ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයින්ට හිමි ප්‍රසාද දීමනා ද ජාතික පුහුණුකරුට ගෙවීමට සිදුවනු ඇති. පුහුණුකරුගේ පවුලේ සියලු සමාජිකයින් ඇතුළත් ව ඩොලර් 20000 ක සංචාරක දීමනාවක් ද ඔහුට හිමියි. මේ අනුව දළ වශයෙන් වසරකට රුපියල් ලක්ෂ 900 ක පමණ වැටුප් හා දීමනාවලට ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු හිමිකම් ලබන අතර මාසිකව මෙම මුදල දළ වශයෙන් රුපියල් ලක්ෂ 75 ක්. පසුගිය දා අප අනාවරණය කළ පරිදි ජාතික ගුවන් සේවය වන ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරියාට ද ගෙවා තිබුනේ මාසකට රුපියල් ලක්ෂ 32 ක මුදලක් පමණි. මෙතරම් විශාල මුදලක් ලබා ගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ලෙස චන්දික හතුරුසිංහ පසුගිය කාලසීමාවේ රටේ ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය උදෙසා සිදුකළ සේවාව කුමක් ද? මේ අතර වාරයේ හිටපු ක්‍රීඩා අමාත්‍ය ජනාධිපති නිතීඥ ෆයිසර් මුස්තාපා මහතා ක්‍රිකට් පාලක මන්ඩලයට නිසි බලධාරීයා ලෙස පත්කළ කමල් පද්මසිරි මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන මෙහෙයුම් නිලධාරියාගේ හා ප්‍රධාන විධායක නිලධාරියාගේ ගිවිසුම් 2021 දෙසැම්බර් 31 වන දා දක්වා වසර 2 කින් දීර්ඝ කර තිබේ. රජයේ නිලධාරියෙකු ලෙස කමල් පද්මසිරි මහතා මෙම පත්වීම් ලිපි ලබාදී තිබෙන්නේ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තුළ ඡන්දයකින් පත් වූ විධායක කමිටුවක් ක්‍රියාත්මක නොවන පසුබිමකයි. අමාත්‍යංශ ලේකම්වරයෙකුට නිසි බලධාරියා ලෙස කටයුතු කරමින් එවැනි සේවා දිගුවක් ලබාදීම සඳහා ක්‍රියා කිරීමට නීතියෙන් ඉඩක් ඇත්දැයි ප්‍රශ්නයක්. හිටපු ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතාගේ සමයේ ක්‍රීඩාවට සිදුවූ මෙවැනි අකටයුතුකම් සම්බන්ධයෙන් වගකිව යුත්තේ කවුරුන් ද? හිටපු ක්‍රීඩා අමාත්‍ය ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා ක්‍රීඩාව වෙනුවෙන් සිදුකළ මෙහෙය මෙයද ? අතිවිශාල මුදල් ප්‍රමාණයක් රටට ඵලදායී නොවන අයුරින් වැය කිරීමට බැඳීම් ඇතිකරගත් පුද්ගලයින්ම එම වියදම් ද දැරිය යුතු නොවේ ද?