කථානායකට එරෙහිව විරෝධතාවයක්

November 15, 2018   01:04 pm

වහාම මහ මැතිවරණයක් පවත්වන ලෙස ඉල්ලමින් හා කථානායකවරයාට විරෝධය දක්වමින් අද(15) මිද්දෙණිය හා වීරකැටිය නගරවලදී විරෝධතා දෙකක් පැවැත්විය. 

දකුණු පළාත් සභාවේ සභානායක සෝමවංශ කෝදාගොඩ, පළාත් සභා මන්ත්‍රීවරුන් වන ඩී.වී.උපුල්, කපිල දිසානායක, එම්.කේ.කසුන්, තංගල්ල අගුණකොළපැලැස්ස, කටුවන හා වීරකැටිය ප්‍රාදේශීය සභා සභාපතිවරුන්, උපසභාපතිවරුන්, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්, මිද්දෙණිය, කටුවන,වීරකැටිය සහ තංගල්ල ප්‍රදේශවල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි පාක්ෂිකයින් පිරිසක් මෙම විරෝධතා සඳහා සහභාගී වූහ.   

කටුවන ප්‍රාදේශීය සභාව ඉදිරිපිටට රැස්වූ විරෝධතාකරුවෝ මිද්දෙණිය - වීරකැටිය ප්‍රධාන මාර්ගය අවහිර කරමින් මිද්දෙණිය නගරයේ වටරවුම වටා ගොස් යළි ප්‍රාදේශීය සභාව ඉදිරිපිටට පැමිණ විරෝධතාවය අවසන් කලහ.   

මේ සඳහා විරෝධතාකරුවන් දෙසීයක පමණ පිරිසක් සහභාගී විය. 

වීරකැටිය පස්මං හන්දිය අසලදී ආරම්භ වූ විරෝධතා පාගමන වීරකැටිය බස්නැවතුම්පළ දක්වා ගමන් කර බස්නැවතුම්පළ අසලදී අවසන් කෙරිණි.

එහිදී වීරකැටිය පස්මං හන්දිය අසල සිට බස්නැවතුම්පළ දක්වා ප්‍රධාන මාර්ගය පැය භාගයක පමණ කාලයක් සම්පූර්ණයෙන් අවහිර විය.  

වීරකැටිය නගරයේදී පැවැති විරෝධතාව සඳහා විරෝධතාකරුවන් පන්සීයක පමණ පිරිසක් සහභාගී වූහ. 

කථානායකවරයා පාර්ලිමේන්තුවේදී ඒකපාක්ෂිකව කටයුතු කරන බව විරෝධතාකරුවන් පවසන අතර වහාම මැතිවරණයක් පවත්වා ජනතාවගේ කැමැත්ත ඉටු කරන ලෙසද ඔවුහු ඉල්ලා සිටිති.