තායිලන්තයේ ලෙන තුළ සිරවූ පිරිමි දරුවන් ගැන නැගෙන ප්‍රශ්නවලට පිළිතුරු

Thailand boys trapped in caves

ඡායාරූප මූලාශ්‍රය, THAI NAVY SEALS/GETTY IMAGES

ඡායාරූප ශීර්ෂ වැකිය, ගලවාගැනීමේ මෙහෙයුමට සම්බන්ධ වූ තායි නාවික හමුදා භටයින්

උතුරු තායිලන්තයේ ලෙන් සංකීර්ණයක දින දාහතක් සිර වී සිටි 'වයිල්ඩ් බෝ (Wild Boar)' පාපන්දු කණ්ඩායම සහ ඔවුන්ගේ පුහුණුකරු පසුගියදා සුරක්ෂිතව ඉන් පිටතට රැගෙන ඒමට ගලවාගැනීමේ කණ්ඩායම් සමත් වූහ.

තායිලන්ත සහ ජාත්‍යන්තර කිමිදුම්කරුවන්ගේ සහාය ඇතුව මෙම අති භයානක මෙන්ම සංකීර්ණ ගලවාගැනීමේ මෙහෙයුම ක්‍රියාත්මක කරන ලදී. එම සම්පූර්ණ ක්‍රියාන්විතයේ විස්තර තවමත් හෙළි වෙමින් පවතී.

ගලවාගැනීමේ මෙහෙයුම ගැන මෙන්ම ලෙන තුළ සිරවූ දරුවන් ගැන සහ මීළඟට සිදු වන්නේ කුමක්ද යන්න පිළිබඳ බීබීසී වාර්තාකරු ජොනතන් හෙඩ් මෙසේ පිළිතුරු ලබා දී තිබේ:

දරුවන් ලෙන තුළ මෙතරම් දුරක් ඇවිද ගියේ ඇයි?

දරුවන් සමග ලෙන තුළ සිටි පාපන්දු කණ්ඩායමේ සහකාර පුහුණුකරු Ekkapol 'Ake' Chantawong ("අකේ" ලෙස ඔහු හඳුන්වනු ලැබේ) සිය අත්දැකීම් අප සමග බෙදා ගන්නා තෙක් ඉහත ප්‍රශ්නයට නිසි පිළිතුරක් දීමට අපහසුය.

නමුත්, දරුවන් ලෙන තුළට ඇතුළු වූ දිනයේ ඔවුන් පාපන්දු තරගයකට මුහුණ දීමට නියමිතව තිබුණත්, එය අවසාන මොහොතේ අවලංගු කර ඇති බව ප්‍රධාන පුහුණුකරු Nopparat Kanthawong (නොප්) පවසා ඇත. ඒ වෙනුවට පුහුණු සැසිවාරයක් පැවැත්වීමට ඔහු තීරණය කර තිබේ.

මෙම පිරිමි ළමුන් සියලු දෙනා පාපැදි පැදීමට ඉතා ප්‍රිය කළ අතර, ෆේස්බුක් 'චැට්' පිටුවක් හරහා ඔවුන්ගේ ක්‍රියාකාරකම් සියලුම දෙමාපියන්ට දැන්වීමට ක්‍රියා කර තිබුණි. එදින, පුහුණුකරු අකේ යෝජනා කර සිටියේ ඔවුන් සියලු දෙනා පාපැදිවලින් පාපන්දු ක්‍රීඩාපිටියට යන බවය.

ඔවුන් මෙම ලෙන් සංකීර්ණය තුළට ගමන් කරන බව ෆේස්බුක් චැට් පිටුවේ සඳහන් කර නොතිබුණි.

Thailand boys trapped in caves

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, දරුවන් ලෙන තුළ සිටින විට දී

පාපන්දු කණ්ඩායමේ සාමාජිකයෙක් වන Pheeraphat 'Night' Sompiengjai ගේ 16 වෙනි උපන්දිනය දරුවන් ලෙන තුලට ගිය සෙනසුරාදා දින යෙදී තිබුණි. ප්‍රදේශයේ ආහාර වෙළෙඳපොළක හිමිකරුවෙකු පැවසුවේ මෙම දරුවන් උපන්දිනයක් සැමරීම සඳහා බාත් (තායිලන්ත මුදල්) 700ක ආහාර මිලදී ගත් බවය. එම ප්‍රදේශයේ පවතින ආර්ථික තත්ත්වය අනුව, එය විශාල මුදලකි.

අකේ ඉතා කාරුණික සහ දරුවන් වෙනුවෙන් කැපවූ පුද්ගලයෙකු බව ප්‍රධාන පුහුණුකරු 'නොප්' විස්තර කළේය. පිරිමි ළමුන් අකේට ඔවුන් සමග ලෙන තුලට යෑමට බල කර ඇතැයි නොප් විශ්වාස කරයි. මෙම ලෙන් සංකීර්ණය ප්‍රදේශය තුළ ඉතා ජනප්‍රිය අතර, මින් පෙර කීප වතාවක් දරුවන් ලෙන තුළට ගොස් තිබේ.

කෙසේවෙතත්, ලෙන තුළට ගියපසු ඇද හැලුණු අනපේක්ෂිත වර්ෂාව හේතුවෙන් එය ජලයෙන් පිරී යනවාත් සමග දරුවන් ලෙන ගැඹුරට ගමන් කරන්න ඇතැයි සිතිය හැකිය.

දරුවන් සිය දෙමාපියන් අමතන්නේ කෙසේද? දෙමාපියන්ට දරුවන් බැලීමට අවස්ථාව ලබා නොදෙන්නේ කුමන හේතුවක් නිසාද?

දින ගණනක් ලෙන තුළ සිට, ඉතා වෙහෙසකාරී මෙහෙයුමකින් ගලවා ගත් දරුවන් මේ වන විටත් ශාරීරිකව දුර්වල වී සිටින අතර, ඔවුන්ට ලෙඩ රෝග බෝ වීමේ අවදානමක් ඇතැයි නිලධාරියෙකු පැවසීය.

මෙම දරුවන් දැන් තායිලන්තයේ ඉතා වටිනා ජීවිත බවට පත්ව තිබේ. ඔවුන් ලෙනෙන් පිටතට ගැනීමට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදු විය. මේ හේතුවෙන්, ඔවුන්ට කිසිදු පීඩාවක් සිදු නොවන්න වග බලා ගැනීමට තායිලන්ත බලධාරීන් කටයුතු කරමින් සිටී.

Thailand boys trapped in caves

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, රෝහලේ සිටින දරුවන්

සමහර විට දරුවන්ට ද ඔවුන්ගේ දෙමාපියන් දුටු විට ඇතිවන උද්‍යෝගය මග හැරීමට අවශ්‍ය වී ඇතැයි සිතන්නට පුළුවන. බටහිර රටවල මෙන් නොව සාමාන්‍යයෙන් තායිලන්ත වැසියන් එකිනෙකා වැළඳගන්නේ කලාතුරකිනි.

මෙම දරුවන්ගේ දෙමාපියන් දුගී සහ සාමාන්‍ය පවුල්වලින් පැවත එන අතර, ඔවුන් බලධාරීන් පවසන ආකාරයට කටයුතු කිරීමට පෙළඹේ. එමෙන්ම, සිය දරුවන් බේරා ගැනීම සඳහා ආණ්ඩුව දැරූ පරිශ්‍රමයට ඔවුන් ඉතා ස්තුතිවන්ත වන අතර උද්ඝෝෂණවල යෙදීමට කටයුතු කරන්නේ නැත.

මේ තොරතුරුද කියවන්න:

ඔවුන්ට රෝහල් කාමරයේ වීදුරුව තුළින් දරුවන් දෙස බැලීමට හැකි අතර, ක්‍රමයෙන් දරුවන්ගේ කාමරවලට අත් වැසුම් සහ මුඛ ආවරණ පැළඳ ඇතුළු වීමට ඉඩ දී තිබේ.

Thailand boys trapped in caves

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ලෙන තුළ මෙහෙයුම

පුහුණුකරු අකේට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්වේ ද?

මෙම අවස්ථාවේ දී විනය පරීක්ෂණයක් පැවැත්වීමට කටයුතු නොකරනු ඇත. සියලුම දෙමව්පියන් ඔහුට සමාව දී ඇති අතර, ලෙන තුළ සිරවී සිටින කාලය තුළ භාවනා කිරීම පුහුණු කිරීමෙන් සිය දරුවන්ගේ ආත්ම ශක්තිය රඳවා තබා ගැනීමට කටයුතු කිරීම පිළිබඳ ඔවුන් 'අකේ' හට ස්තුති කර තිබේ. අකේ වසර12 ක් පැවිදි වී භාවනා ක්‍රම ප්‍රගුණ කර ඇත්තෙකි.

නැවතත් කෙටි කාලයකට පැවිදි වන ලෙස අකේ ගෙන් ඉල්ලා සිටිනු ඇතැයි නොප් පැවසුවේය. පුද්ගලයෙකුගේ හික්මීම වර්ධනය කර ගැනීමට සහ ආත්මය පිරිසිදු කර ගැනීම උදෙසා කෙටි කලකට පැවිදි වීම තායිලන්තයේ සාමාන්‍යය සම්ප්‍රදාය වේ.

එම ක්‍රියාවෙන් පසු ඔහුට සාමාන්‍ය පුද්ගලයෙකු ලෙස දිවි ගෙවිය හැකි යැයි බොහෝ තායිලන්ත වැසියන්ගේ මතය වනු ඇත.

එමෙන්ම තායිලන්තයේ 'එකිනෙකාට චෝදනා කිරීමේ සංස්කෘතියක්' දක්නට නොමැත. මීට වඩා බරපතළ වැරදිවලට පවා පුද්ගලයන්ට සමාජයෙන් චෝදනා එල්ල නොකළ අවස්ථා බොහොමයක් තිබේ.

Thailand boys trapped in caves

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, තායිලන්ත සාම්ප්‍රදායක ක්‍රමයට කිමිදුම්කරුවන්ට ආචාර කරන දරුවන්

ඉතා කුඩා ආහාර ප්‍රමාණයකින් මෙතරම් කාලයක් ඔවුන් ජීවත් වූයේ කෙසේද? ඔවුන්ගේ ශරීරයේ බර එතරම් අඩු නොවුණේ කෙසේද?

දරුවන් සොයා ගැනීමට පෙර ඔවුහු දින නවයක් ලෙන තුළ ජීවත් වූහ. ඔවුන් සතුව තිබෙන්නට ඇත්තේ නයිට්ගේ උපන්දින සාදය සඳහා මිලදී ගත් ඉතා කුඩා ආහාර ප්‍රමාණයක් පමණි. කෙසේනමුත්, ඔවුන් දැඩි කැපවීමෙන් පුහුණුවීම්වල යෙදෙන, ශරීර ශක්තියෙන් හෙබි, එකිනෙකාට ඉතා සමීප පාපන්දු කණ්ඩායමකි.

මේ හේතුවෙන්, ඔවුන් ඉතා කුඩා ආහාර ප්‍රමාණයක්, ඉතා ප්‍රවේසමෙන් සියල්ලන් අතර බෙදාගෙන, සමහර විට ගී ගයමින් ආහාර ගෙන ඇතැයි විශ්වාස කෙරේ.

තවත් තොරතුරු:

මේ අතර, අකේ දරුවන්ට භාවනා කිරීම පුහුණු කර ඇති අතර, වැඩි ආහාර ප්‍රමාණයක් දරුවන් අතරේ බෙදා දී තිබූ බව තායිලන්ත නාවික කිමිදුම්කරුවෝ පැවසූහ. ලෙන තුළට ගලාගෙන එන අපවිත්‍ර ජලය වෙනුවට ලෙන් බිත්තිවලින් ගලා එන ජලය පානය කරන ලෙසද ඔහු දරුවන්ට උපදෙස් දී තිබේ.

Thailand boys trapped in caves

ඡායාරූප මූලාශ්‍රය, FACEBOOK/EKATOL

ඡායාරූප ශීර්ෂ වැකිය, අතුරුදහන්ව සිටි දරුවන්ගෙන් පිරිසක් සමග පාපන්දු පුහුණුකරු පෙනී සිටින ඡායාරූපයක්

ඔවුන් සොයා ගත් පසු ලෙන තුළ සිටි දවස් හයත් අටත් අතර කාලය තුළ කිමිදුම්කරුවන් රැගෙන ගිය අධි ප්‍රෝටීන් අඩංගු ජෙල් වර්ග ලබා දුන් අතර, පසුව සාමාන්‍ය ඝන ආහාර ලබා දීමට කටයුතු කර තිබුණි. මේ හේතුවෙන්, ඔවුන් පිටතට පැමිණීමට පෙර ශරීරයේ බර මදක් වැඩි වී තිබෙන්නට ඇත.

මුළු කාලයම ඔවුන් සිටියේ අඳුරේ ද?

බොහෝ අවස්ථාවලදී ඔවුන් සිට ඇත්තේ ඝන අන්ධකාරය මධ්‍යයේය. ඔවුන් ලෙන තුළට ගොස් ඇත්තේ බාල වර්ගයේ විදුලි පන්දම් අතැතිව වන අතර, ඒවා කෙටි කලකින් ක්‍රියාවිරහිත වන්නට ඇත. මුල් දින නවය තුළ ඔවුන් බොහෝ විට අඳුරේ සිටින්නට ඇතැයි විශ්වාස කෙරේ.

දරුවන් සොයාගත් පසු තායි හමුදා වෛද්‍යවරයෙකු සහ කිමිදුම්කරුවන් තුන්දෙනෙකු පමණ ඔවුන් සමග ලෙන තුළ නතර වූ අතර, ඔවුන් සතුව ප්‍රබල ආලෝකයක් විහිදුවන විදුලි පන්දම් තිබී ඇත. නමුත් ඔවුහු සියලු දෙනාම වැඩි කාලයක් අඳුරේ සිටියහ. ලෙනෙන් පිටතට පැමිණෙන විට ආලෝකයට දෑස් එකවර නිරාවරණය නොවීමට අව් කණ්ණාඩි පැලැදීමට සිදු විය.

Thailand boys trapped in caves

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

දරුවන් පිටතට රැගෙන ආවේ සිහි නැති කොටද?

මෙම කාරණය පිළිබඳ තායි බලධාරීන් වැඩිදුර විස්තර එළි කිරීමට මැලි කමක් දක්වයි.

ඔවුන් මද වශයෙන් සිහි නැති කර පිටතට ගෙන ආ බව තායි අග්‍රාමාත්‍ය, ජනරාල් ප්‍රයුත් චාන් ඕචා පැවසීය. නමුත් බීබීසී කළ විමසුමකදී ගලවාගැනීමේ මෙහෙයුමට සම්බන්ධ වූවන් පැවසුවේ දරුවන්ට සිහි නැති කිරීමේ ඖෂධ වැඩි ප්‍රමාණයක් ලබා දී තිබුණ අතර ඔවුන්ට සිහිය තිබුණේ මඳ වශයෙන් බවය.

දැඩි අන්ධකාරයෙන් යුත් ලෙනක වේගයෙන් කැරකෙන ජලයේ ජීවිතයේ ප්‍රථම වතාවට කිමිදුම් කට්ටලයකින් සැරසී පිහිනා යන විට ඔවුන් කලබලයට පත් වී සියලුදෙනාගේම ජීවිත අවදානමට ලක්වනු ඇතැයි යන බිය හේතුවෙන් දරුවන්ගේ සිහි නැති කර ඇතැයි සඳහන් වේ.

Thailand boys trapped in caves

ගලවාගැනීමේ මෙහෙයුමේ ප්‍රධාන කිමිදුම්කරුවන් දෙදෙනා වන බ්‍රිතාන්‍ය ජාතික ජෝන් වොලන්තන් සහ රිචර්ඩ් ස්ටැටන්, දරුවන් ලෙනෙන් පිටතට ගෙන ඒමට සූදානම් කිරීම සඳහා සහාය දෙන මෙන් ඕස්ට්‍රේලියානු ජාතික නිර්වින්දන වෛද්‍යවරයෙකු සහ කිමිදුම්කරුවෙකු වන රිචර්ඩ් හැරිස් ගෙන් ඉල්ලා ඇතැයි විශ්වාස කෙරේ.

දැඩි අන්ධකාරය තුළින්, ඉතා පටු මාර්ග ඔස්සේ, ගැඹුරු ජලයේ කිමිදෙමින්, අඩ සිහියේ පසුවන දරුවන් රැගෙන ලෙනෙන් පිටතට පැමිණි අති දුෂ්කර ගමන ගැන මෙතෙක් තොරතුරු හෙළි වී නොමැත.

සමහර අවස්ථාවල දරුවන් කිමිදුම්කරුවන්ගේ ශරීරයේ ගැට ගසාගෙන පිහිනා යන්නට ඇත. පසුව ඔවුන් මැස්සක තබා ලෙනේ ඉහළ කොටසේ ගැට ගැසූ කඹයක ආධාරයෙන් උඩට ඉස්සීමට කටයුතු කර තිබේ.

Thailand boys trapped in caves

මෙය ඉතා සංකීර්ණ, නව අත්හදාබැලීම්වලින් පිරුණු එඩිතර ගලවාගැනීමේ ක්‍රියාන්විතයකි. මෙවැනි මෙහෙයුමක් මින් පෙර සිදු කර නැත. දරුවන් ලෙනෙන් පිටතට රැගෙන පැමිණි කිමිදුම්කරුවන් විශේෂ බලයක් සහිත මනුෂ්‍යයන් ලෙස හැඳින්වීමට සමහරු කටයුතු කළහ.

මෙම මෙහෙයුම සඳහා ප්‍රතිපාදන ලබා දුන්නේ කවුද?

තායිලන්ත රජයෙන් වැඩි මුදලක් දී තිබේ.

ඇමරිකාවේ සිට මෙහෙයුමට සම්බන්ධ වීමට පැමිණි ගුවන් හමුදා භටයින් 30 දෙනා මෙන් අනෙකුත් රටවලින් ද ආධාර දී තිබෙන්නට පුළුවන.

වීඩියෝ ශීර්ෂ වැකිය, ලෙන තුළ සිරවී සිටින දරුවන්ගේ පළමු වීඩියෝ දර්ශන

ආහාරපාන සහ ගමනාගමන පහසුකම් සලසමින් තායිලන්තයේ බොහෝ ව්‍යාපාර මෙම මෙහෙයුමට සම්බන්ධ විණි. ගලවාගැනීමේ මෙහෙයුම් සඳහා වෙනත් රටවලින් පැමිණෙන සමහර කිමිදුම්කරුවන්ට තායි එයාර්වේස් සහ බැංකොක් එයාර්වේස් යන ගුවන් සමාගම් නොමිලේ ගුවන් ගමන් පිරිනැමීමට ඉදිරිපත් වී තිබුණි.

තායිලන්තයට තනිව මෙම මෙහෙයුම සාර්ථක කරගැනීමට හැකිව තිබුණේද?

නැත. නමුත් සමහර රටවලට එම හැකියාව ඇත. ලෙන් තුළ කිමිදීමට විශේෂ පුහුණුවක් ලැබිය යුතුය. එසේ පුහුණු වූ කිමිදුම්කරුවන් ඇත්තේ අතලොස්සක් පමණි.

අත්දැකීම් බහුල ලෙන් කිමිදුම්කරුවෙකු වන වර්න් අන්ස්වර්ත් (Vern Unsworth) දරුවන් සිරවී සිටි ලෙන මින් පෙර ඉතා හොඳින් අධ්‍යනය කර තිබුණ අතර, ඔහු එම ප්‍රදේශයේ ජීවත් වී සිටීම තායිලන්තයේ වාසනාවට හේතු විය.

Thailand boys trapped in caves

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, මෙහෙයුමට සම්බන්ධ වූවන් වෙනුවෙන් ආහාර පිළියෙළ කරමින්

දරුවන් නැති වූ දිනට පසු දින ඔහු එම ස්ථානයට පැමිණියේය. තායිලන්ත රජය මෙම මෙහෙයුම සඳහා වෙනත් රටවලින් අත්දැකීම් බහුල කිමිදුම්කරුවන් කැඳවිය යුතු බවට ඔහු යෝජනා කළේය.

ලෙන තුළට ප්‍රථමයෙන් ඇතුළු වූ තායිලන්ත නාවික හමුදා කිමිදුම්කරුවන්ට එවැනි අත්දැකීම් අඩු වීම හේතුවෙන් සහ ඔවුන්ගේ සියලුම කිමිදුම් ආම්පන්න මුහුදේ කිමිදීමට භාවිත කරන ඒවා වීම නිසා එහි වැඩිදුර පිහිනීමට නොහැකි විය. ලෙන තුළ ජල මට්ටම වැඩි වෙනවාත් සමග ඔවුන් එයින් පිටතට පැමිණි අතර, දරුවන් සොයා ගැනීමේ බලාපොරොත්තු අත්හැරීමට සිදු විය.

විවිධ රටවලින් විදේශීය කිමිදුම්කරුවන් පැමිණි විට මූලික සෝදිසි කිරීමේ මෙහෙයුම් සඳහා ඔවුන්ට ඉඩ ලබා දීමට තායි බලධාරීහු කටයුතු කළහ. ඉන් අනතුරුව අතිශය සංකීර්ණ ගලවා ගැනීමේ මෙහෙයුම ක්‍රියාත්මක කෙරුණි. එය, මිනිසුන් සිය ගණනක්, විශාල කඹ, විදුලි රැහැන් සහ සන්නිවේදන රැහැන් සහ තවත් විශාල සංකීර්ණ උපකරණ රාශියක් සම්බන්ධ කරගත් අති දැවැන්ත මෙහෙයුමක් විය.

මෙම මෙහෙයුම ඉතා හොඳින් සංවිධානය කිරීම සහ විදේශීය දායකත්වය නැවත්වීමට උත්සාහ නොකිරීම ගැන තායිලන්තයට සම්පූර්ණ ගෞරවය හිමි විය යුතුය.