කීත් නොයාර්ට පහරදුන් බුද්ධි අංශ හයදෙනාට ඇප

කීත් නොයාර්ට පහරදුන් බුද්ධි අංශ හයදෙනාට ඇප

March 30, 2017   01:49 pm


මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙනයාම හා වධහිංසා සිදුකිරීමේ සිදුවීමට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි යුද හමුදා බුද්ධි අංශයේ මේජර්වරයෙකු ඇතුළු හමුදා සාමාජිකයින් හයදෙනා ඇප මත නිදහස් කර තිබේ.

ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම වීරසිංහ විසින් සැකකරුවෙකු  ලක්ෂ 10 බැගින්වන ශරීර ඇප මත මුදාහැරීමට තීරණය කළ බව අද දෙරණ අධිකරණ වාර්තාකරු පවසයි.

සැකකරුවන්ට සෑම මසකම අවසන් ඉරිදා දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසද නියෝග කර ඇත.


කීත් නොයාර් මහතා අද දිනයේ අධිකරණයට නොපැමිණීම හේතුවෙන් පැවැත්වීමට නියමිතව තිබූ හඳුනාගැනීමේ පෙරෙට්ටුව අහෝසි කරන කරන ලද අතර 1වෙනි සැකකරු සමාජ ජාල වෙබ් අඩවිවල පවා පෙනී සිටින බැවින් හා ඡායාරූප ප්‍රසිද්ධව පවත්නා බැවින් මුහුණ නිරාවරණය කර තිබියදීම අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණු බව අප වාර්තාකරු පවසයි.


සෙසු සැකකරුවන් මුහුණු ආවරණය කොට අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර මෙම සැකකරුවන්ට ඇප ලබාදුන්නද, මොවුන් මාධ්‍යවේදී උපාලි තෙන්නකෝන් මහතාට පහරදීමේ සිදුවීමට අදාළවද චෝදනා ලැබූවන් බැවින් එම නඩුවට අදාළව ඇප නියම කර නැති බැවින් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර කෙරුණු බව අප වාර්තාකරු කියා සිටියි.

ඒ අනුව උපාලි තෙන්නකෝන් මහතාට පහරදීමේ සිදුවීමට අදාළව 1 වෙනි සැකකරු හෙට දිනයේ ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේ පැවැත්වෙන හඳුනාගැනීමේ පෙරෙට්ටුවට ඉදිරිපත් කිරීමට නියමිත බවත්, සෙසු සැකකරුවන් පස් දෙනා අප්‍රේල් මස 07 වන දින ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේ හඳුනාගැනීමේ පෙරෙට්ටුවට ඉදිරිපත් කරන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට දන්වා තිබේ.

නඩුවේ වැඩිදුර විභාගය ජූනි මස 01 වන දින කැඳවීමට ගල්කිස්ස මහේස්ත්‍රාත්වරිය තීරණය කර තිබේ.







පවත්නා නීතිමය විධිවිධාන හේතුවෙන් අධිකරණ තීන්දුවලට අදාළ මෙම ප්‍රවෘත්තියට Comments පළකිරීම අත්හිටුවා ඇති බව කරුණාවෙන් සලකන්න.