නීතීඥ සංගම් නිලවරණය මාර්තු 15දා

නීතීඥ සංගම් නිලවරණය මාර්තු 15දා

February 25, 2017   01:56 pm

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ධූරය සඳහා වන  නිලවරණය පැවැත්වීමට දින නියම කර ඇති බව එම සංගමයේ ලේකම් නීතිඥ අමල් රන්දෙණිය මහතා පවසයි.

මාර්තු 15 වන දින ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ධූරය සඳහා වන  නිලවරණය පැවැත්වීම සඳහා කටයුතු සූදානම් කර ඇති බව ශ්‍රී ලංකා නීතීඥ සංගමය පවසයි.

මේ අතර ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ විධායක සභාව අද(25) පෙරවරුවේ රැස්වී තිබේ.

නීතිඥ සංගමයේ නිලවරණය පැවැත්වීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මෙලෙස විධායක සභාව රැස්වී ඇති බව වාර්තා වෙයි.

නීතිඥ සංගමයේ නිලවරණය පසුගිය 21 වනදා පැවැත්වීමට නියමිතව තිබුණ ද විනිසුරුවරුන්ගේ සංගමය තේරීම්භාර නිලධාරීන් ලෙස කටයුතු කිරීමෙන් ඉවත්වීම හේතුවෙන් නිලවරණය දින නියමක් නොමැතිව කල්දැමීමට තීරණය කෙරුණි.

ඒ අනුව විනිසුරුවරුන්ගේ සංගමය නොමැතිව එම කටයුතු පවත්වාගෙනයාම සම්බන්ධයෙන් අද (25) දිනයේදී විධායන සභාව රැස්වී සාකච්ඡා කළ බව වාර්තා වෙයි.

මේ අතර සභාපති ධූරය සඳහා යූ.ආර්. ද  සිල්වා , අනුර මැද්දේගොඩ, ආර්.සංඝරාජා යන නීතීඥවරු තරග වදින බවනීතීඥ සංගමයේ සභාපති ජෙෆ්රි අලගරත්නම් මහතා ප්‍රකාශ කර සිටියේය.

 මෙම නිලවරණයේ තේරීම්භාර නිලධාරීවරුන් ලෙස කටයුතු කරනු ලබන්නේ  දිසා විනිසුරුවරුන්ය.

කෙසේවෙතත්  පසුගියදා මඩකළපුව දිස්ත්‍රික්කයේ නීතීඥවරයෙකු මහාධිකණ විනිසුරුවරයෙකු ලෙස පත් කිරීම සඳහා ශ්‍රී ලංකා නීතීඥ සංගමය මැදිහත් වු බවට චෝදනා කරමින් විනිසුරුවරුන්ගේ සංගමය ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ නිලවරණය වර්ජනය කිරීමට තීරණය කර තිබේ.