තවත් 2ක් ඉල්ලා අස්වෙන්න යයි? තීරණාත්මක සාකච්ඡාවක් 2දා

තවත් 2ක් ඉල්ලා අස්වෙන්න යයි? තීරණාත්මක සාකච්ඡාවක් 2දා

December 31, 2016   01:31 pm




නිදහස් පක්ෂය නියෝජනය කරමින් දැනට ආණ්ඩුවේ අමාත්‍යධූර දරණ පිරිස් අතර තීරණාත්මක සාකච්ඡාවක් ජනවාරි මස 02 වන සතියේදී පැවැත්වීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

දැනට රාජ්‍ය අමාත්‍යධූරයක් දරණ නිදහස් පක්ෂයේ අමාත්‍යවරයෙකු අද දෙරණ සමග සඳහන් කළේ වර්තමානයේ ඇතිව තිබෙන දේශපාලනික තත්ත්වය පිළිබඳව මෙහිදී  සාකච්ඡා කිරිමට නියමිත බවයි.

ආණ්ඩුවෙන් ඉවත්වන්නේ ද නැද්ද යන්න පිළිබඳව එහිදී සාකච්ඡා කිරීමට නියමිත බව ඔහු පවසා සිටියේය.

මෙම සාකච්ඡාවෙන් අනතුරුව නව වසරේ වැදගත් දේශපාලන තීරණයක් ගනු ඇති බව ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.

මේ අතර තවත් නියෝජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙකු ආණ්ඩුවෙන් ඉවත්වීමට සූදානමක් පවතින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

එළඹෙන සතියේදී බොහෝ විට නියෝජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනා සිය ධූරවලින් ඉල්ලා අස්වනු ඇති බව වාර්තා වෙයි.

මේ අතර පළාත් සභා සහ පළාත් පාලන  නියෝජ්‍ය අමාත්‍ය ධූරයේ කටයුතු කළ ප්‍රියංකර ජයරත්න මහතා ඊයේ(30)  දිනයේ සිය ධූරයෙන් ඉල්ලා අස්වුණි.

මේ අතර ලබන සතිය වන විට ආණ්ඩුවේ බොහෝ පිරිසක් ඒකාබද්ධ විපක්ෂය සමග එක්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

හෝමාගම, මීගොඩ ප්‍රදේශයේ පැවැති උත්සවයකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන මහතා මේ බව සඳහන් කළේය.