පරීක්ෂණයක් අවශ්‍ය නම් එය ඔබගේ රටින් පටන් ගන්න - විමල් වීරවංශ

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයා කොටි සංවිධානයේ හිතවාදීන්ගේ උවමනාවන්ට අනුව කටයුතු කරන බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසයි.

ඔහු එම ප්‍රකාශය කළේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් ෂයිඩ් අල් හුසේන් ගේ ශ්‍රී ලංකා සංචාරයට එරෙහිව සංවිධානය කර තිබුණ විරෝධතා ව්‍යාපාරයකට එක් වූ පිරිසක් අමතමිනි.

අද (06)ලිප්ටන් වටරවුමේ දී රැස්ව එහි සිට පා ගමනින් තුංමුල්ල,එක්සත් ජාතීනගේ කාර්යාලය ඉදිරිපිටට පැමිණි විමල් වීරවංශ මන්ත්‍රීවරයා ඇතුළු කණ්ඩායම එහි සිට සිය විරෝධය පළ කළහ.

සිය කතාවේදී මන්ත්‍රීවරයා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් ෂයිඩ් අල් හුසේන් කුමරු හඳුන්වා දුන්නේ රණවිරුවන්ට අවමන් කරන එසේම දෙමළ බෙදුම්වාදීන් ගේ අරමුණු ඉටු කිරීමට කැප වූ පුද්ගලයකු හැටියටයි.

තවදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ රණවිරුවන් යම්කිසි වරදක් කර ඇත්නම් ඒ පිළිබඳව දේශීය විනිසකරුවන්ගෙන් සැදුම් ලත් අධිකරණයක් ඉදිරිපිට විභාග කළ හැකි බවයි.

සුදු උසාවි එපා

‘ඒකට සුද්දන්ගේ උසාවි අවශ්‍ය නැහැ. සුදු නීතිඥයෝ ඉන්න, සුදු පරීක්ෂකයෝ ඉන්න, සුදු අධිචෝදකයෝ ඉන්න බටහිරට ඕන විධියට තීරණ දෙන බොරු උසාවි ,යුද අපරාධ අධිකරණ මේ රටේ පිහිටුවන්න දෙන්න බැහැ’ විරෝධතාවාදීන් අමතමින් මන්ත්‍රීවරයා කියා සිටියේය.

රණවිරුවන් යුද්ධය දිනා දුන්නේ මානව හිමිකම් නඩු ඇසීමට නොවන බව කියා සිටි මන්ත්‍රීවරයා මානව හිමිකම් උල්ලංඝනය වීම් සොයා බැලීමට උවමනා නම් මුලින්ම එය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරයාගේ රටින් ආරම්භ කළ හැකි බවයි අවධාරණය කළේ.

ෂාරියා නීතිය

විරෝධතා ව්‍යාපාරය සමඟ එක්සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලයට පොලිස් රැකවරණ
ඡායාරූප ශීර්ෂ වැකිය, විරෝධතා ව්‍යාපාරය සමඟ එක්සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලයට පොලිස් රැකවරණ

මෙය ශ්‍රී ලංකාව වන බවත්, ෂාරියා නීතිය ක්‍රියාත්මක වෙන මැද පෙරදිග රටක් නොවන බවත් සඳහන් කළ ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ‘පරීක්ෂණයක් අවශ්‍ය නම් එය ඔබගේ රටින් පටන් ගන්නැයි’ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයාට කියා සිටියේය.

ආණ්ඩුවට ද පණිවුඩයක් දෙමින් තව දුරටත් අදහස් දැක් වූ ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ කියා සිටියේ ‘රණවිරුවන් දංගෙඩියට දක්කන යුද අපරාධ අධිකරණය පිහිටුවීමට ඉඩ නොදෙන’ බවයි.