නේපාල දේශ සීමා අවුලින් ඖෂධ හිඟයක්

දේශ සීමා අර්බුදය දැක්වෙන දර්ශනයක්

ඡායාරූප මූලාශ්‍රය, AP

ඡායාරූප ශීර්ෂ වැකිය,

දේශ සීමා අර්බුදය දැක්වෙන දර්ශනයක්

නේපාලයේ රෝහල් වල අත්‍යවශ්‍ය ඖෂධ හිඟයක් පවතින බව කත්මන්ඩු අගනුවර වෛද්‍යවරු පවසති.

එවැනි ඖෂධ හිඟයකට හේතුව වී තිබෙන්නේ , ඉන්දු - නේපාල දේශ සීමාව අවහිර කිරීම නිසා අවශ්‍ය සැපයුම් සිදු කිරීම සඳහා පවතින බාධාවයි.

කත්මන්ඩු අගනුවර ප්‍රධාන ශික්ෂණ රෝහලේ ඇඩ්රිනලින් (adrenaline) ඇට්‍රොෆීන් (atropine) සහ ‘සේලයින්’ අවසන් වී ඇති බවයි නේපාල වෛද්‍යවරු පවසන්නේ.

මේ අතර කත්මන්ඩු අගනුවර එක් රෝහලක් අවශ්‍ය ඖෂධ නොමැති හෙයින් ශල්‍ය කර්ම සිදු කිරීම කල් තබනු ලැබ ඇති බවක් ද වාර්තා වෙයි.

ගෑස් ලඟා වෙන තෙක් බලා සිටින ජනයා
ඡායාරූප ශීර්ෂ වැකිය,

ගෑස් ලඟා වෙන තෙක් බලා සිටින ජනයා

දකුණු නේපාලයේ ගෝත්‍රික කණ්ඩායම් විසිනුයි සති කීපයක පටන් දේශ සීමාව අවහිර කරමින් සිටින්නේ.

ඇතැම් ඉන්දියානුවන්ගේ ද සහයෝගය ඊට ලැබෙන බවත් වාර්තා මගින් පැවසෙයි.

පසුගිය දා සම්මත කෙරුණ නව නේපාල ව්‍යවස්ථාව මගින් තමන්ට අසාධාරණයක් සිදු කෙරෙන බවයි දේශ සීමාව අවහිර කරමින් සිටින එම ගෝත්‍රික කණ්ඩායම් පවසන්නේ.

දේශ සීමාව අවහිර කිරීම නිසා නේපාලය බලවත් ඉන්ධන අර්බුදයකට ද මුහුණ දී ඇත.