මහින්දට විපක්ෂ නායකයා විය නොහැකිද?

  • උපාලි ගජනායක
  • බීබීසී සිංහල සේවය

‘අගමැති සිහිනය බොඳ වූ’ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ඉදිරි දේශපාලන භූමිකාව කුමක්ද යන්න ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු දේශපාලනය තුළ මේ මොහොතේ මතු වෙමින් ඇති ප්‍රධාන මාතෘකාවක් වෙයි.

ජනවාරි මාසයේ පැවැත්වුන බල තරඟයෙන් දරුණු පරාජයක් ලැබ සිටි හිටපු ජනාධිපතිවරයා පසුගිය ජූලි මාසයේ දී නව මහමැතිවරණය ප්‍රකාශයට පත් කිරීමත් සමඟ සිය පක්ෂයේ නායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ අභිමතය ද අභිභවනය කරමින් එක්සත් ජනතා සන්ධානයේ බලය සියතට ගැනීමට සමත් වූ අතර තමා විසින්ම ද තමා ඔසවා තැබීමට දායක වූ දේශපාලන කඳවුර විසින් ද දේශපාලන වේදිකාව මත ඔහු ඔසවා තබන ලද්දේ ‘ඊ ළඟ ආණ්ඩුවේ අගමැතිවරයා’ හැටියටයි.

එහෙත් මහින්ද රාජපක්ෂගේ එම අගමැති සිහිනයේ ‘බොඳ වීම’ අගෝස්තු දහඅට වෙනිදා පාන්දර වන විට සනිටුහන් කෙරුණ අතර , එම පරාජය නොතකා දේශපාලනයේ දිගටම රැඳී සිටින බව දැනටමත් ප්‍රකාශයට පත් කර ඇති හිටපු ජනාධිපතිවරයාට සිදු වන්නේ ලබන සැප්තැම්බර් මාසයේ නව පාර්ලිමේන්තුව ආරම්භ වූ විට විපක්ෂයේ ඉදිරි පෙළේ අසුනකට සීමා වීමටයි.

ජාතික ආණ්ඩුවක්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ නිරන්තරයෙන් පවසන පරිදි අලුතින් පිහිටවනු ලබන්නේ ‘ජාතික ආණ්ඩුවක්’ නම් වත්මන් ජනාධිපතිවරයා සභාපතිත්වය දරන එසේම මහින්ද රාජපක්ෂ ද නියෝජනය වෙන එක්සත් ජනතා සන්ධානයේ මන්ත්‍රීවරුන් කොටසක් ද එම නව පාලනයේ හවුල්කරුවන් වීම නොවැලක්විය හැකි යථාර්ථයක් වනු ඇත.

ජනපති අභිමතය

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය,

ජනපති අභිමතය

එවැනි ජාතික ආණ්ඩුවක තනතුරක් දැරීමට සූදානමක් නැත්නම්, මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයාට නව පාර්ලිමේන්තුව තුළ ලබා ගත හැකි ඉහළම පදවිය වන්නේ මෙයින් වසර දාහතරකට පෙර ද තමා විසින් දරා ඇති විපක්ෂ නායක පදවියයි.

පසුගිය පාර්ලිමේන්තුවේ අවසන් මාස කීපය ඇතුළත විපක්ෂ නායක පදවිය දැරූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයකු වන නිමල් සිරිපාල ද සිල්වා මැතිවරණ දිනයේ පටන් ඔහු විසින් කරන ලද ප්‍රකාශන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට අනුග්‍රහශීලී වූ ඒවා වන අතර නව පාලනය තුළ නියෝජ්‍ය අගමැති පදවියක් හඳුන්වනු ලැබුනොත් ඔහු විසින් එය භාර ගනු ලැබීම කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණක් බවට පත් විය හැක.

මහින්ද කඳවුර

එවැනි වර්ධනයක් තුළ එක්සත් ජනතා නිදහස් සන්ධානය තුළ කේන්ද්‍රණගතව සිටින ‘මහින්දවාදී’ දේශපාලන සුළුතරය විපක්ෂ නායක පදවිය භාර ගන්නා මෙන් කරනු ලබන බලපෑමකට අවනත නොවී සිටීමේ හැකියාවක් කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂට හැකියාවක් තිබේද යන්න තවමත් ප්‍රශ්නයකි.

පසුගිය මහමැතිවරණයේ දී ‘අගමැති ධූර අපේක්ෂකත්වය’ ආරෝපණය කරමින් පරාජිත ජනාධිපතිවරයා යළිත් මැතිවරණ වේදිකාව කරා කැඳවා ගෙන එන ලද්දේත් එම දේශපාලන සුළුතරය විසිනි.

‘පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු’ හැටියට දිගටම ‘රටට සහ ජාතියට’ සේවය කරන බව දැන් කියා සිටින මහින්ද රාජපක්ෂට විපක්ෂ නායක පදවිය භාර ගැනීමේ ව්‍යවස්ථාමය ගැටළුවක් නොමැති නමුත් ඔහු අයත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෙන්ම ඔවුන් නියෝජනය වෙන එක්සත් ජනතා සන්ධානයේ ද නායකයා වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගෙන් ඒ සඳහා අවසරය ලැබේද යන්න තීරණාත්මක කරුණක් වෙයි.

ලේකම් වරුන් දෙදෙනා

මැතිවරණ ව්‍යාපාරය තුළ දේශපාලනමය වශයෙන් මහින්ද රාජපක්ෂගේ ප්‍රධාන දේශපාලන ප්‍රතිවාදියා එක්සත් ජාතික පක්ෂයේ නායක අගමැති රනිල් වික්‍රමසිංහ වුවත් මැතිවරණය ආසන්න වෙත්ම ඔහුට අනපේක්ෂිත අභියෝගයක් එල්ල වූයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගෙනි.

මීළඟ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක පදවිය පැවරිය යුත්තේ සිය පක්ෂයේ කවර තැනැත්තාටද යන්න ජනාධිපති සිරිසේනගේ මොළය අභ්‍යන්තරයේ කැකෑරෙන අලුත්ම ප්‍රශ්නය නොවන්නේ යයි කිසිවකුට කිව නොහැක්කේ තමාට අවශ්‍ය මොහොතේ අවසන් තීන්දුව ගැනීමේ ලක්ෂණයක් ජනාධිපතිවරයා ප්‍රදර්ශනය කර ඇති හෙයිනි.

මහින්ද අගමැති වීමට එරෙහිව
ඡායාරූප ශීර්ෂ වැකිය,

මහින්ද අගමැති වීමට එරෙහිව

සති කීපයක් නිහඬව සිට අනපේක්ෂිත පියවරක් ගත් ජනාධිපති සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම් පදවි දැරූ ‘මහින්දවාදී’ දේශපාලනඥයන් දෙපල මැතිවරණයට ඔන්න මෙන්න කියා තිබියදී එම පදවිවලින් ඉවත් කරන ලද අතර ඒවා පැවරුණේ ‘මහින්ද පිලට’ අයත් නොවූ ‘සිරිසේන කඳවුරේ’දෙදෙනකුටයි.

තමාට පක්ෂය තුළ තවමත් පිරිස් බලයක් ඇතත් එවැනි තත්වයක් යටතේ මහින්ද රාජපක්ෂට පහසුවෙන් විපක්ෂ නායක පදවිය දිනා ගැනීමට හැකි වේද යන්න මේ මොහොතේ ප්‍රශ්නයක් විය හැකි අතර ජනාධිපතිවරයාගේ ආශීර්වාදයෙන් එම පදවිය සඳහා පත්වීමට බලා සිටින ජ්‍යෙෂ්ඨ නායකයන් කීප දෙනෙක්ම හිටපු ජනාධිපතිවරයාගේ උරහිස් ආසන්නයේම නොමැත්තේද නොවේ.

එවැනි දේශපාලන වාතාවරණයක් යටතේ මහින්ද රාජපක්ෂට පාර්ලිමේන්තු මන්ත්‍රී පදවියෙන් සෑහීමට පත්වීමට සිදු වුනොත් එය දේශපාලනමය වශයෙන් පුදුමයක් ද නොවේ.