ගෘහ සේවිකා පළමු වෘතීය සමිතිය ලෙබනනයේ

ගෘහ සේවිකා පළමු වෘතීය සමිතිය ලෙබනනයේ

ලෙබනනයේ සංක්‍රමණික ගෘහස්ථ සේවිකාවන් සිය අයිතිවාසිකම් සහ තමන් හමුවේ ඇති අභියෝගවලට මුහුණ දීම පිණිස ලෙබනනයේ ප්‍රථම වරට කම්කරු සංගමයක් පිහිටුවා ගෙන තිබේ.

ඉකුත් ඉරිදා ආරම්භක රැස්වීම පවත්වා ඇත.

එය සංක්‍රමණික සේවකයන් විසින් මැද පෙර දිග රටක පිහිටුවා ගත් පළමු වෘතීය සමිතිය බවට පත් වෙයි.

මෙම සංගමය බිහි වන්නේ ලෙබනන ජාතිකයන් විසින් පිහිටුවා ගෙන ඇති ජාතික කම්කරු සංගමයට සමගාමීවයි.

එහෙත් ලෙබනනයේ පල වන ඩේලි ස්ටාර් ‘Daily Star’ පුවත් පත වාර්තා කොට තිබුණේ සංක්‍රමණික සේවකයන් විසින් කම්කරු සංගමයක් පිහිටුවා ගැනීමට ඉදිරිපත් කළ යෝජනාව ලෙබනන කම්කරු අමාත්‍යංශය විසින් ප්‍රතික්ෂේප කොට ඇති බවයි. ලෙබනනයේ ශ්‍රී ලංකා කාන්තා සංගමයේ සභාපතිනිය මාලනී කන්දෙආරච්චි පැවසුවේ කම්කරු සංගමය පිහිටුවා ගෙන අවසන් බවයි.

ඉතියෝපියාව, ශ්‍රී ලංකාව, නේපාලය බංග්ලාදේශ්, පිලිපීනය සහ සෙසු රටවල සංක්‍රමණික සේවිකාවන් එක්ව ඉකුත් ඉරිදා ආරම්භක රැස්වීම පැවැත්වූ බව ඇය සංදේශයට පැවසුවේය.

ඉකුත් ඉරිදා පැවති ආරම්භක උත්සවයට ලෙබනනයේ කම්කරු ඇමතිවරයාට පවා ආරාධනා කල බවත් ඇමතිවරයා නියෝජනය කරමින් අමාත්‍යංශ නියෝජිතයකු , ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සහ ආරක්ෂක අංශ නියෝජිතයන් සහභාගිවූ බවයි ඇය කියා සිටියේ.

ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ සහයෝගය ඇතිව රටවල් තිහක නිලධාරීන්ගේද සහභාගිත්වය ඇතිව පිහිටුවා ගත් කම්කරු සංගමය පිළිබඳව සමස්ත ලෝකයම දැනුවත් කර ඇති බවත් ඇය ප්‍රකාශ කළාය.

නේපාලයේ වැසියන් නියෝජනය කරන කාන්තා නායිකාවක්, පිලිපීන ජාතිකයන් නියෝජනය කරන නායිකාවන් තිදෙනෙක් සහ ඉතියෝපියානු කාන්තා නායිකාවක් සහ මැඩගස්කරය නියෝජනය කරන කාන්තා නායිකාවක් එක්ව සංවිධානය පිහිටුවා ගැනීමට මූලික අඩිතාලම දැමු බවයි ඇය පැවසුවේ.

ඔවුන් විසින් සිය දෙනා බැගින් පුහුණු කොට අද වන විට තම සංගමයේ පන් සියයකට වැඩි සාමාජිකාවන් පිරිසක් සිටින බවත් ලෙබනනයේ ශ්‍රී ලංකා කාන්තා සංගමයේ සභාපතිනිය මාලනී කන්දෙආරච්චි සඳහන් කළාය.

ඉරිදා දින ආරම්භක උත්සවයේදී , ලෙබනනයේ ආරම්භ කළ කම්කරු වෘතීය සමිති සංගමය සෙසු අරාබි රටවලට ද පැතිරේවා කියා තමා ප්‍රාර්ථනා කළ බවයි ඇය පැවසුවේ.

ලෙබනනයේ ජීවත්වන සංක්‍රමණික ගෘහ සේවිකාවන්ට විවිධ ප්‍රශ්නවලට මුහුණ දීමට සිදුවන බවත් එම ප්‍රශ්නවලට පිළිතුරු සෙවීමට වෙනත් කිසිදු සංවිධානයකට ආධාර කිරීමට නොහැකි නිසා ලෙබනන් ජාතික කම්කරු සංගමයට සමගාමීව තම කම්කරු සංගමය පිහිටුවා ගත් බවයි ශ්‍රී ලංකා කාන්තා සංගමයේ සභාපතිනි මාලනී කන්දෙආරච්චි පැවසුවේ.

ලෙබනන ජාතිකයන්ට ඔවුන්ගේ ලෙබනන ජාතික කම්කරු සංගමය මගින් ආරක්ෂාව, රැකවරණය මෙන්ම සියලු අයිතිවාසිකමක්ම වෙනුවෙන් පෙනී සිටින බව පවසන ඇය දිවා රෑ නොබලා සේවය කරන සංක්‍රමණික සේවකයන්ගේ අයිතිවාසිකම් ලබා ගැනීම වෙනුවෙන් කම්කරු සංගමය පිහිටුවා ගැනීමට පියවර ගත් බව ප්‍රකාශ කළාය.