මෙත්සිරි ඉඩමක් හොයද්දී ගාලු නගරය කුණුවලින් ‍වැහෙයිද?

මෙත්සිරි ඉඩමක් හොයද්දී ගාලු නගරය කුණුවලින් ‍වැහෙයිද?

October 20, 2014   01:17 pm

ගාල්ල නගරයේ කසළ බැහැර කරලීමේ කටයුතු මේවන විට නවතා දමා තිබේ.

ගාල්ල ප‍්‍රධාන බස්තැවතුම්පොළ අසළ ගාමිණී මාවතේ පසුගිය බදාදා (15) දින සිට අද(20) වන විට දින පහක් එක් රැස්වී ඇති කුණු නගරයේ වීථි පුරාවට දක්නට ලැබෙයි.

කුණු ගොඩවල් වලින් අධික දුගඳක්ද හැමීමෙන් නගර තුළ මේ වනවිට සෞඛ්‍ය ප‍්‍රශ්න උද්ගතවීමේ අවදානමක්ද හට ගෙන තිබේ.

ඇතැම් වෙළඳසැල් හා හෝටල් තුළද මේ වනවිට කසළ එකතුවී ඇත.

මේ සම්බන්ධයෙන් අප වාර්තාකරු විමසූ විට ගාල්ල නගරාධිපති මෙත්සිරිද සිල්වා මහතා දුන්නේ මෙවන් පිළිතුරකි.



“නගර සභාවේ කසළ ප‍්‍රතිචක්කී‍්‍රකරණ ඒකකයේ කි‍්‍රයාකාරීත්වය මා සොයා බැලූවා එය සාර්ථකව කි‍්‍රයාත්මක වන්නේ නැහැ. නගරයේ කසළ බැහැර කරලීමට මාගේ මැදිහත්වීමෙන් ලබා ගෙන තිබූ නුගදූව ප‍්‍රදේශයේ ඉඩම ද යම් යම් දේශපාලඥයන් මැදිහත්ව කුණු දැමීම නතර කරන තැනට කටයුතු කිරීම නිසා එම ඉඩමට කසළ බැහැර කරලීමේ හැකියාවක් දැනට නැහැ. මේ තත්ත්වය නිසා දැනට නගරයේ කසළ බහැර කරලීම කළ නොහැකි තත්ත්වයට පත්වෙලා තියෙනවා. කෙසේ වෙතත් මේ වන විට කසළ බැහැර කරලීමට සුදුසු ඉඩමක් සොයමින් ඉන්නවා. කසළ බැහැර කරලීමට සුදුසු ඉඩමක් ලද වහාම නැවතත් සුපුරුදු පරිදි කසළ එකතු කිරීම නගර සභාව ආරම්භ කරනවා” යැයි නගරාධිපතිවරයා කියයි.

වැඩිදුරටත් නගරාධිපතිවරයා කියා සිටියේ මීට පෙර දිනකට නගරයෙන් කසළ ට්‍රැක්ටර් 50ට ආසන්න සංඛ්‍යාවක් එකතු කළා. නමුත් මේ වන විට නගර සභා සේවකයන් එකතු කරන්නේ කසළ ටැක්ටර් 17 කි බවයි.

ඡායා රූ - අනුර ප්‍රියන්ත.