රතන හිමිගෙන් ව්‍යවස්ථා සංශෝධන යෝජනාවක්

 ජනතා බල පෑමක් කිරීම අරමුණ බවයි රතන හිමියන් පවසන්නේ
ඡායාරූප ශීර්ෂ වැකිය, ජනතා බල පෑමක් කිරීම අරමුණ බවයි රතන හිමියන් පවසන්නේ

ජනාධිපති බලතල සීමා කෙරෙන ව්‍යවස්ථා සංශෝධනයක් පිළිබඳව යෝජනාවක් ජාතික හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පුජ්‍ය අතුරලියේ රතන හිමියන් ඇතුළු රජයේ ඇමතිවරුන් පිරිසක් විසින් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමට සැලසුම් කොට තිබේ.

මේ පිළිබඳ ව සංදේශය වෙනුවෙන් රතන හිමියන්ගෙන් කළ විමසීමක දී උන්වහන්සේ සඳහන් කළේ මෙම ව්‍යවස්ථා සංශෝධනය වසරකට වැඩි කාලයක් විවිධ මට්ටමින් විවිධ උගතුන්, නීතිඥයන් සහ එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, මෙන් ම ආණ්ඩුවේ සිටින වමේ දේශපාලන පක්ෂ වල නියෝජිතයන් සමගත් සාකච්ඡා කොට ඒ සියලු දෙනාගේ ම අදහස් උදහස් උකහා ගනිමින් සිදු කළ ව්‍යවස්ථා සංශෝධනයක් බවයි.

එම සංශෝධනය සමාජගත කිරීම මේ මස 14 වැනිදා සවස 3 ට බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී සිදු කෙරෙන බවයි උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළේ.

'සංශෝධනය නැතිව ජනාධිපතිවරණ එපා'

“එහි දී අප ආණ්ඩුවට පැහැදිලිව කියනව ව්‍යවස්ථා සංශෝධනයක් නොකොට ජනාධිපතිවරණයට කැඳවන්න එපා කියල. එහෙම සංශෝධනයක් නැතිව ජනාධිපතිවරණයකට යනවා නම් අපි ආණ්ඩුව සම්බන්ධයෙන් දේශපාලන තීන්දුවක් ගන්නව. ඒ කියන්නෙ මේ ආණ්ඩුව සමග තවදුරටත් දේශපාලනය කිරීමට අපට නොහැකි වන බව අපට කියන්න සිදුවෙනව” යනුවෙන් උන්වහන්සේ ප්‍රකාශ කළහ.

එයින් ඉල්ලා සිටින්නේ ජනාධිපති බලතල සීමා කොට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා වේ 17 වෙනි සංශෝධනය නැවත ස්ථාපිත කිරීම දැයි බී බී සී ය විසින් නැගු ප්‍රශ්නයට පිළිතුරු දෙමින් උන්වහන්සේ කියා සිටියේ මෙය ජාතික හෙළ උරුමය නමැති පක්ෂය ගත් තීරණයක් නොවන අතර “පිවිතුරු හෙටක්” ජාතික සභාව විසින් ගත් තීරණයක් බවයි.

ආණ්ඩු පක්ෂයේ සිටින මැති ඇමතිවරුන් කිහිප දෙනෙක් ඇතුළු විවිධ දේශපාලන කණ්ඩායම් දමෙයට සහයෝගය පළ කරමින් එකතු වනු ඇතැයි ද උන්වහන්සේ විශ්වාශය පළකළහ.

'මම ඉල්ලා අස්වීමට සුදානම්'

අතුරලියේ රතන හිමියන් ඇතුළු රජයේ ඇමතිවරුන් කිහිප දෙනෙකු ද ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව සැබෑවක් දැයි විමසූ විට උන් වහන්සේ කියා සිටියේ තමන්වහන්සේ ගේ ඉල්ලා අස්වීම පිළිබඳ ව ස්ථිරව ම පැවසිය හැකි වුව ද අනෙකුත් ඇමතිවරුන්ගේ අයගේ ඉල්ලා අස්වීම පිළිබඳ ව සහතිකයක් දීමට තමන්ට නොහැකි බවයි.

කෙසේවුව ද එසේ තමන්වහන්සේ සමග එක් වන බව ඔවුන් ප්‍රකාශ කළ බවයි රතන හිමියන් වැඩිදුරටත් පවසා සිටියේ.

ඉදිරි ජනාධිපතිවරණයේ දී තමන්ගේ ඉල්ලීම් පිළිගන්නා අපේක්ෂකයෙකුට සහය පළකරන බව ප්‍රකාශකලේ දැයි විමසූ විට උන්වහන්සේ පවසා සිටියේ අපේක්ෂකයා කවරෙක් ද සහ ඒ පිළිබඳව ක්‍රියා කරන්නේ කෙසේද යන්න පිළිබඳව දේශපාලන තීන්දුවකට පැමිණ නැති බවයි.

'අපේ අරමුණ රජය පෙරලීම නොවෙයි'

තමන්වහන්සේ ඇතුළු මෙම සංශෝධනය ට පක්ෂව කටයුතු කරන අයගේ මුලික අපේක්ෂාව වන්නේ වර්තමාන ජනාධිපතිවරයා ලවා ජනාධිපතිවරණයට පෙර මෙම සංශෝධනය කරවා ගැනීම බවයි.

මහින්ද චින්තනයෙන් ඉදිරිපත් කළ පොරොන්දු ඉටුකරන ලෙස ජනතා බල පෑමක් කිරීම අරමුණ බව පැවසූ උන්වහන්සේ පවසා සිටියේ මුලික අවශ්‍යතාවය වන්නේ මේ රජය පෙරලීම නොව පවත්නා රජය සකස් කර ගැනීම හෝ රජය මේ ඉල්ලීමට සවන් නො දෙන්නේ නම් පමණක් විකල්පයක් කරා යාම තමන්වහන්සේ ඇතුළු පිරිසගේ අභිලාශය බවයි.