මාධ්‍යවේදීන්ට තර්ජන ගැන ඇමෙරිකාවේ 'කණස්සල්ල'

'ශ්‍රී ලාංකිකයන්ගේ මූලික අයිතිවාසිකම් සුරැකීම සඳහා ඉක්මන් ක්‍රියාමාර්ග ගන්න'
ඡායාරූප ශීර්ෂ වැකිය, 'ශ්‍රී ලාංකිකයන්ගේ මූලික අයිතිවාසිකම් සුරැකීම සඳහා ඉක්මන් ක්‍රියාමාර්ග ගන්න'

උතුරේ මාධ්‍යවේදීන් වෙනුවෙන් පසුගිය සති අන්තයේ සංවිධානය කොට තිබුණු මාධ්‍යවේදී වැඩමුළුව අවලංගු කිරීම පිළිබඳව ඇමෙරිකා එක්සත් ජනපදය දැඩි කණස්සල්ල පළ කොට තිබේ.

ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය විසින් සංවිධානය කරන ලද මාධ්‍ය වැඩ මුළුවකට සහභාගි වීමට සෙනසුරාදා යාපනයේ සිට කොළඹ බලා ගමන් ගනිමින් සිටි මාධ්‍යවේදීන් පිරිස ගංජා ළඟ තබා ගැනීමේ චෝදනාව මත පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදි.

රැවුල වවා ගත් පුද්ගලයකු තමන් සිටි වාහනයට ගංජා ස්වල්පයක් සහිත සිගරට් පැකට්ටුවක් දමන ලද බවත් ඔහු හමුදා භටයකු බවත් එම වාහනයේ සිටි මාධ්‍යවේදියෙක් බීබීසී සංදේශයට පැවසීය.

එහෙත් ශ්‍රී ලංකා යුද හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය එම චෝදනාව ප්‍රතික්ෂේප කළේය.

පාසල් දැරියන් දූෂණය

මේ අතර මාධ්‍යවේදී වැඩ මුළුව කැඳවනු ලැබ තිබුණ ශ්‍රී ලංකා පුවත් පත් ආයතනය ඉදිරිපිට සෙනසුරාදා විරෝධතා ව්‍යාපාරයක්ද සංවිධානය කොට තිබිණි.

මේ සියල්ල යම්කිසි සැලැස්මකට අනුව සිදු කරනු ලැබ ඇති බව බීබීසී සංදේශයට කියා සිටි නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු සුනිල් ජයසේකර, එයට විරෝධය පෑම පිණිස හදිසි මාධ්‍ය හමුවක් සංවිධානය කිරීමත් සමඟම තමන්ටද මරණ තර්ජන එල්ල කරමින් දුරකථන ඇමතුම් ලැබුන බවද පැවසීය.

ඇමෙරිකානු ආධාර සහිතව පැවැත්වීමට නියමිතව තිබුණු වැඩමුළුව අවලංගු කිරීමත් සමඟම රට පුරාම මාධ්‍යවේදීන් විශාල පිරිසක් තර්ජනවලට මුහුණු දුන් බවයි, කොළඹ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ.

මැයි මාසයේ සිට මේ වන විට තර්ජන හේතුවෙන් අවලංගු කෙරුණු තුන් වැනි මාධ්‍යවේදී වැඩමුළුව මෙය බවත් ඇමෙරිකානු නිවේදනයේ සඳහන්.

"පොලිසිය මෙම ස්ථානවල රැඳී සිට ඇතත්, තර්ජනයට ලක්වුණු මාධ්‍යවේදීන්ට ආරක්ෂාව සපයා නැති අතර, තර්ජනය කරන්නා වූ පිරිස්වලට එරෙහිව ක්‍රියාමාර්ගද ගෙන නැත," යනුවෙන්ද එහි සඳහන්වේ.

එමෙන්ම පාසල් දැරියන් දූෂණය කිරීම පිළිබඳ නඩු විභාගය වාර්තා කළ මාධ්‍යවේදීන්ට පසිගිය සිකුරාදා යාපනයේදී එල්ල වූ තර්ජන පිළිබඳවත් ඇමෙරිකාව සිය කනස්සල්ල පළ කොට තිබේ.

මේ සියල්ල මගින් ගම්‍ය වන්නේ ශ්‍රී ලංකාවේ අදහස් ප්‍රකාශ කිරීමේ සහ රැස්වීමේ නිදහසට බාධා කරන්නන්ට දඬුවම් නොකිරීමේ රටාවක් පවතින බව යයිද තානාපති කාර්යාලය පවසයි.

"මාධ්‍යවේදීන්ගේ සහ සියලු ශ්‍රී ලාංකිකයන්ගේ මූලික අයිතිවාසිකම් සුරැකීම සඳහා ඉක්මන් ක්‍රියාමාර්ග ගන්නා ලෙස රජයෙන් තරයේ ඉල්ලා සිටින්නෙමු," යනුවෙන්ද නිවේදනයේ දැක්වේ.